යල කන්නයේ සිට වී වගාවට නොමිලයේ පොහොර

ජන 09, 2020

    යල කන්නයේ සිට වී වගාව සඳහා පොහොර නොමිලයේ ලබාදෙන බව රජය පවසයි.

    අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, උපරිමය හෙක්ටයාර දෙකක් දක්වා එම පොහොර ලබාදෙන බවයි.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන...

    “යල කන්නයේ සිට වී වගාව සඳහා පොහොර සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදීම සිද්ධ වෙනවා. පසුගිය කාලපරිච්ජේදය තුළදී පොහොර ආනයනයකරුවන්ට නොගෙවා තිබෙන ප්‍රමාණය රුපියල් බිලියන 6ත්-9ත් අතර ප්‍රමාණයක් ඒ නිසා ඔවුන්ට පොහොර ගෙන්වන්න විධියක් නැති නිසා රජය විසින් පසුගිය සතියේ ඔවුන්ට ගෙවිය යුතු මුදල්වලින් බිලියන 3ක් ගෙවලා තියෙනවා. ඒ අනුව ඉදිරි කාල පරිච්ජේදය තුලදී වී වගාව සඳහා අවශ්‍ය වන පොහොරවල කිසිදු හිඟයක් නොමැති බව පොහොර ලේකම් කාර්යාංශය වාර්තා කරලා තියෙනවා. අනෙකුත් බෝග සඳහා අවශ්‍ය කරන පොහොර ඉතාම කෙටි කාලයකදී ගෙන එනු ලබන බව“ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    “ගමට ගෙයක්-රටට හෙටක්“ නිවාස වැඩසටහන යටතේ තෝරාගත් දිළිඳු පවුල් සඳහා නිවාස 14,022ක් ඉදි කෙරේ.

    “අමාත්‍ය බන්දුල ගුණවර්ධන....

    “දුප්පතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා රජයක් ලෙස ඔවුන්ට ඔවුන්ගේ කියන්න නිවසක් තනාගැනීම සඳහා ලක්‍ෂ 6 බැගින් මූල්‍ය ප්‍රදානයක් ලබාදීමටත්, සෑම ග්‍රාමසේවක වසමකම එක් නිවස බැගින් නිවාස 14,022ක් මේ වර්ෂය තුළදී තනා නිමකරලා ඔවුන්ගේ අයිතියට පවරාදීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළා. අනෙකුත් ධානපතියන් සියලු දෙනාට දායක වන ලෙස අගමැතිතුමා වෙනුවෙන් අපි ආයාචනය කරනවා මේ කැබිනට් පත්‍රිකාව අනුව“ යැයි අමාත්‍යතුමා පැවසීය.

    අඩු ආදායම්ලාභී තරුණ-තරුණියන් ලක්‍ෂයකට රැකියා අවස්ථා සැලසෙන පරිදි බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
    අමාත්‍ය බන්දුල ගුණවර්ධන.....

    සමෘද්ධි හෝ ඊටත් වඩා අඩු ආදායම් ලබන පවුල්වල වැඩකරන වයසේ පසුවන, ශ්‍රමය සැපයීමට කැමැත්තෙන් සිටින, 8 වන ශ්‍රේණිය සමත් අයෙක් තමයි ඒ සඳහා තෝරා ගනු ලබන්නේ. සංවර්ධන කාර්ය සහායකයන් ලෙස එම පළාත තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා පොදුජන සේවාව සඳහා යෙදවීම තමයි අරමුණු කරන්නේ. බඳවා ගනු ලබන සෑම තැනැත්තෙකුටම මසකට අවම වශයෙන් රුපියල් 30,000ක පමණ චේතනයක්, දීමනාවක්, වැටුපක් ලැබෙන ආකාරයට තමයි මෙම ව්‍යාපෘතිය සැලසුම් කරලා තියෙන්නේ“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    “ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2022 දක්වා ක්‍රියාත්මක කෙරේ. පරිසර හිතකාමී කෘෂිකාර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණෙන්, කෘෂි නිෂ්පාදන පොකුරු ගම්මාන ස්ථාපනය කිරිම මෙහි අරමුණයි.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන...

    “ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි රටේ නිෂ්පාදනය කරන්න පුලුවන්. රටේ නිෂ්පාදකයන්ට සාධාරණ මිලක් ලබාදෙන්නේ නැති, වක්කඩ කැඩුවා වගේ සියලුම භාණ්ඩ රට ඇතුලට ගලා ඒමේ ප්‍රතිපත්ති පළමු වතාවට තමයි ගෝඨාභය රාජපක්‍ෂ රජය වෙනස් කළේ. ඒනිසා ඈත එපිට ගම්මානවල පවා ගම්මිරිස්, සුළු කෘෂි බෝග නිෂ්පාදකයින් ඉතා විශාල ආදායමක් ලැබීම මේ වනවිට ඉතාම කෙටි කාලයක් තුලදී කෘෂිකාර්මික ද්‍රව්‍යවල නිෂ්පාදනය වැඩි කරන්නත්, සැපයුම වැඩි කිරිම තුළින් මිල මට්ටම් පහත හෙලන්නත්, ජීවන වියදම් කමිටුව මැදිහත්වී ක්‍රියා කරනවා“ යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    සුළු පරිමාණ ව්‍යාපෘති රැසක් ද ආරම්භ කර ඇති බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

    අමාත්‍ය බන්දුළ ගුණවර්ධන....

    “ග්‍රාමීය අතිමහත් බහුතර ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහාත්, ගම නඟා සිටුවීම සඳහාත්, ග්‍රාමීය සංවර්ධනය සඳහාත්, ග්‍රාම සේවක වසමකටම මිලියන 20 බැගින් ලබාදීලා, සුළු පරිමාණ, මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම ප්‍රතිලාභ නොලබන ව්‍යාපෘති මේ වනවිට ආරම්භ කිරිම සඳහා යෝජනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත යැවීම සඳහා කටයුතු කරලා තියෙන බව සඳහන් කරන්න කැමතියි“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    දැඩි ලෙස ඛාදනයට ලක්ව ඇති අඟුලාන වෙරෙළ තීරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා...

    “පාරිසරික වශයෙන් වගේම සංචාරක කර්මාන්තය පැත්තෙන් වටින දර්ශනීය මුහුදු තීරයක් වන, අඟුලාන මුහුදු තීරයත්, කැලිඩෝ මුහුදු තීරයත් නැවත අලංකාර ලෙස ප්‍රතිනිර්මාණය කිරිම ඉදිරියේ දී සිදුවනවා“ යැයි රමේෂ් පතිරණ මහතා පැවසීය.

    Latest News