නීතිපති නියෝගයට අනුව, අලගරත්නම් මනෝරන්ජන් CID අත්අඩංගුවට

ඔක් 14, 2020

    කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී, අලගරත්නම් මනෝරන්ජන් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩගුවට ගනු ලැබීය.

    ඒ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අලගරත්නම් මනෝ රන්ජන් යන මහත්වරුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ කළ නියෝගයකට අනුවයි. මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් ද පනවා තිබේ.

    අලගරත්නම් මනෝරන්ජන් මහතා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණ දිනයේදී බස් රථ 221ක් යොදා ගනිමින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ඡන්ද දායකයින් පිරිසක් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාලවයි.

    ඔහු කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තැබීමට නියෝග කෙරිණ. අදාල බස් රථ යෙදවීම හේතුවෙන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ රුපියල් අනූපන් ලක්‍ෂයක මුදලක් අවභාවිත කිරීම, සාවද්‍ය පරිහරණය හා පොදු දේපල නීතිය යටතේ වන වරදවල් සම්බන්ධයෙන් හිටපු විෂයභාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ සම්සුදීන් මොහොමඩ් යන අය ද අත්අඩංගුවට ගැනීමට නියම කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සැකකාර හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 06ක් යොදවා ඇති බවයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරක්‍ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අටඩංගුවට ගනු ලැබීය. මන්ත්‍රීවරයා සැකකරුවෙකු ලෙස නම්කර තිබියදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

    මන්ත්‍රීවරයා පාවිච්චි කළ බවට සැක කෙරෙන වාහන 02ක් ද, ඊයේ පොලිස් භාරයට ගැනින. ඒ, එම වාහනවල රියදුරන්ද සමඟයි. පොලිසිය සඳහන් කලේ, එම රථ තුළ තිබී පිස්තෝල දෙකක්, මැගසින් 04ක් හා ජීව උණ්ඩ 48ක් ද සොයාගත් බවයි.

    මේ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් අනුව, කරුණු 07ක් සම්බන්ධයෙන් නිලධාරීන් 60 දෙනෙකු යොදවා එම විමර්ශනය සිදු කෙරෙන බව, අජිත් රෝහණ මහතා පැවසීය.

    Latest News