විජයානන්ද හේරත් මහතාට නව පත්වීමක්

ඔක් 13, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් මහතා පත්කර තිබේ.

    නව රජය පත්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස ක්‍රියා කළේද, හේරත් මහතායි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෘත්තියට පිවිසි විජයානන්ද හේරත් මහතා මාධ්‍ය සම්බන්ධීකරණය සහ මාධ්‍ය කළමනාකරණ ක්‍ෂේත්‍රයේ වසර 25කට වැඩි අත්දැකීම් සහිත අයෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී ගෞරව උපාධිධරයෙකු වන ඔහු, එම විශ්වවිද්‍යාලයේම සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකු ද වේ.

    කොළඹ විශ්වවිද්‍යාලයේ සහ මාධ්‍ය ආයතන කිහිපයක ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු ද වන විජයානන්ද හේරත් මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව අයිතිවාසිකම් පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු ද වේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයේ සිටි සමයේ එතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා වූයේ විජයානන්ද හේරත් මහතායි. ඔහු, මහින්ද රාජපක්‍ෂ මහතා කම්කරු හා වෘත්තිය පුහුණු සහ ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍ය ධූර හෙබවූ කාලසීමේ එතුමාගේ මාධ්‍ය නිලධාරියා ලෙස ද ක්‍රියා කළේය.

    සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස ද ක්‍රියා කළ හේරත් මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වේ.

    2006 සිට වසර 8ක් රාජ්‍ය මාධ්‍ය ලේකම්රුන්ගේ සංගමයේ සභාපපි ධූරය හෙබවූ විජයානන්ද හේරත් මහතා, 2016 සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය උපදේශකවරයා ලෙස ද ක්‍රියා කළේය.

    Last modified on අඟහරුවාදා, 13 ඔක්තෝබර් 2020 18:17

    Latest News