මයික්‍රොසොෆ්ට් නැවත විවෘත වන්නේ මාස 7 කින්

ඔක් 23, 2020

    මයික්‍රොසොෆ්ට් ආයතනයේ ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය නැවත විවෘත කිරීමේ දිනය 2021 වර්ෂයේ ජූලි මාසය දක්වා කල් දමා තිබේ.

    කොරෝනා ව්‍යාප්ත වීමත් සමඟ පසුගිය මාර්තු මාසයේ වසා දැමුණු එම කාර්යාලය 2021 වසරේ ජනවාරි මාසයේ නැවත විවෘත කරන බව මුලින් දැනුම් දී තිබිණි.

    විවෘත කිරීමේ දිනය කල්දමා ඇති බව දැනුම් දී ඇත්තේ ඔක්තෝබර් 21 දින, මයික්‍රොසොෆ්ට් ප්‍රධානීන් කණ්ඩායම විසින් නිකුත් කරන ලද විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගිනි.

    එම දිනය 2021 වර්ෂයේ ජූලි 06 ලෙස එහි දක්වා ඇත.

    බොහෝ සමාගම් මෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගම ද මේ වසරේ මාර්තු මාසයේ සිට සිය කාර්යාලයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දී තිබිණි.

    තවත් සේවකයින් පිරිසක් ආයතනයේ කාර්යාලවල අර්ධකාලීනව වැඩකරමින් සිටිති. ඇමරිකාවෙන් පිටත සිටින සේවකයන්ට නැවත කාර්යාලයට පැමිණිමේ දිනයක් ලබාදී නොමැති අතර රජයේ බලධාරීන්ගේ තීරණය අනුව කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

    ආයතනයේ මෙහෙයුම් විධායක කර්ට් ඩෙල්බීන් මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ පවසයි, "කොරෝනා ව්‍යාප්තියේ හයවන අදියරට ළඟාවනතුරු කාර්යාල සඳහා ආපසු යෑම අත්‍යාවශ්‍ය නොවේ.

    හයවන අදියර යනු කොවිඩ් - 19 රෝගයේ ව්‍යාප්තිය තවදුරටත් රටට බරක් නොවන ආකාරයට සැලකිය යුතු ලෙස අඩුවූ අවස්ථාවයි.

    එවිට අපගේ කාර්යාල වල මේ වනවිට පනවා ඇති සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ බොහෝ සීමා ඉවත් කළ හැකියි.

    එතෙක් නිවසේ සිට වැඩකිරීමට දැඩි ලෙස උනන්දු කරනු ලැබේ."

    Latest News