ආගමන හා විගමන පාලකවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 27

ජන 22, 2025
    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇපමත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම ලබන 27 වන දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. 
    මෙම පෙත්සම් අද ඒ.එච්.එම්.ඩී.නවාස්, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
     
    එහෙත් මෙම පෙත්සම් විභාගයෙන් තමන් ඉවත්වන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැනුම් දුන්නා. 
     
    ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටින බවට මීට පෙර පෙරකලාසි ගොනු කර තිබුණද ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී තිබීම හේතුවෙන් එම පෙරකලාසි ඉවත් කරගන්නා බව අධිකරණයට දැනුම් දුන්නා. 
     
    මෙහිදී ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන තම සේවා දායකයා මාස හතරක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී  නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ඔහු අපේක්ෂා කරන බවත් සඳහන් කළා.
     
    ඒ අනුව තම සේවා දායකයා සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
     
     මෙම ඉල්ලීම ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරු අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිටි අතර පෙත්සම්කාර සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් විරුද්ධත්වයක් නොදක්වන බවයි.
     
    ඒ අනුව අදාල ඇප ඉල්ලීම මේ මස 27 වනදා සලකා බලන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළා. 
     
    මෙම නඩුකරය විභාගයට ගත් අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක 
    හර්ෂ ඉලුක්පිටිය මහතා ද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
     
    පෙත්සම්කරුවන් අධිකරණයේ හමුවේ සඳහන් කර තිබුණේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ කටයුතු ඉකුත් රජය සමයේ පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි. 
     
    මේ තුළින් රටට හිමිවිය යුතු විශාල ආදායමක් රජයට අහිමි වී යන අතර  ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් සංවේදී තොරතුරු බාහිර පාර්ශවයන් අතට පත්වීමේ අවදානමක් තිබෙන බවත් මෙම පෙත්සම් වලින් පෙන්වා දී තිබුණා.
     
    මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත්  වීසා නිකුත් කිරීම ක්‍රමවේදයක් ඉටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා.
     
    එම පෙත්සම් විභාග කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය වීසා නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් අගෝස්තු මස තහනම් නියෝගයක් නිකුත් කළා.
     
    එමෙන්ම  අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව වීසා නිකුත් කිරීමේ පැරණි  ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙසත් දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.
     
    එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් ආගමන හා විගමන පාලකවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    Latest News