ලොව කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව මිලියන 40 ඉක්මවයි

ඔක් 21, 2020

    අමෙරිකා එක්සත් ජනපදයේ නවතම දත්තවලට අනුව ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 40.5 ඉක්මවා ගොස් ඇති අතර, වාර්තාවී ඇති වයිරස ආසාදිත මරණ ගණන මිලියන 1.1 ඉක්මවයි.

    ‘කොවිඩ් - 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනයවී සුව වූ ගණන මිලියන 27.8කි.

    චීනයෙන් පමණක් අඟහරුවාදා දිනයේදී වයිරස ආසාදිතයන් 11 දෙනකු හඳුනාගත් බව ද එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    එමෙන්ම මේ වනවිට චීනය ද නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් සංවර්ධනය කිරීමේ ගෝලීය තරගයට එක්ව සිටින අතර ඔවුන් දැනටමත් එන්නත් හතරක් අත්හදා බලා ඇතැයි වාර්තා වේ.

    අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 220,000 ඉක්මවන අතර, එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 8.12 ඉක්මවයි.

    තවමත් ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ මරණ ගණනක් වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙනි.

    රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (20) වාර්තා වූ අතර, එය 16,319ක් ලෙස දැක්විණ.

    මේ වනවිට යුරෝපා තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් නිර්මාණය වෙමින් තිබේ.

    මේ සති අන්තයේ සිට සති තුනක් සඳහා රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය පැනවීමට ඉතාලියේ කම්පානියාහී බලධාරීන් තීරණය කර ඇත.

    ප්‍රාදේශීය බලධාරීන් එම තීරණය ගෙන ඇත්තේ, ලොම්බාර්ඩි ප්‍රදේශයට සීමා පනවන්නැයි ආණ්ඩුව කරන ලද ඉල්ලීමක් සළකා බලමින්.

    නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලෙන් ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

    යුරෝපය තුළ නව කොරෝනා වයිරසයේ පළමු රැල්ල නිර්මාණය වූයේ ද ලොම්බාර්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්.

    ලොම්බාර්ඩි ප්‍රදේශයට සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා උදෑසන 5 දක්වා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් තීරණය කර ඇත.

    හෙට සිට එම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

    Latest News