කරදියාන ඝන අපද්‍රව්‍ය විදුලි ව්‍යාපෘතියේ වැඩ යළි ඇරඹේ

පෙබ 20, 2021

    අතරමඟ නවතා දමා ඇති කරදියාන ඝන අපද්‍රව්‍ය විදුලි ව්‍යාපෘතියේ වැඩ යළි ආරම්භ කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    විදුලිබල අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ජාවකදී ඔහු ඒ පිලිබඳ අදහස් පළ කළේය. කසළ අර්බුදය මෙරට දැඩි ගැටලුවක් වන අතර, එය විසඳීමට ගතහැකි එක් පියවරක් වන්නේ, කසළ යොදා ගනිමින් විදුලිය නිපදවීමයි. ඒ පිලිබඳව මේ සාකච්ජාව පැවැත්විණ. කෙළවරපිටියේ ඉදි කෙරුණු කසළ යොදා ගනිමින් විදුලිය උත්පාදන පළමු බලාගාරයේ විදුලි උත්පාදනය පසුගියදා ආරම්භ කෙරිණ.

    එමගින් මෙගාවොට් 10ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. කසළ නිසා ඇතිවන පාරිසරික ගැටලුවලට මෙමගින් විසඳුමක් හිමිවන අතර ජාතික විදුලිබල පද්ධතියට ද විශාල දායකත්වයක් හිමිවේ.

    එම නිසා දිවයින තුළ තවත් මෙවැනි බලාගාර ස්ථාපනය යෝග්‍ය බව අමාත්‍යවරයා පවසයි. කසළ ‍යොදා ගනිමින් විදුලිය නිපදවිය හැකි තවත් බලාගාර දෙකක් ස්ථාපනයට පියවර ගත යුතු බව ද ඔහු පැවසීය.

    ඒ අනුව පසුගිය වකවානුවේදී යෝජනා ඉදිරිපත් වී, මේ වනවිට අතහැර දමා ඇති කරදියාන ප්‍රදේශයේ යෝජිත බලාගාරයේ වැඩ පළමුවෙන් ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය බව ද ප්‍රකාශ කෙරිණ. 

    ඒ අනුව, ආයෝජකයන් දිරිමත් කර, අදාළ බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් අරඹන ලෙස අමාත්‍යවරයා සාකච්ජාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    Last modified on සෙනසුරාදා, 20 පෙබරවාරි 2021 11:11

    Latest News