විජයදාස රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

අප්‍රේ 29, 2024

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සළකා බැලීම සඳහා මැයි 2 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

    එම අවස්ථාවේදී පෙත්සම්කාර විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය ඉතා හදිසි නඩු කටයුත්තක් බැවින් එය අද දින කරුණු කිරීමට අවස්ථාව ලබාදෙන දෙන ලෙස ඉල්ලා සිටියා.

    එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අමාත්‍ය ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ලේඛන තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළා.

    මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවත් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස මූලික විරෝධතා මතු කරන බවත් ජනාධිපති නීතිඥ ජයසුන්දර මහතා දැනුම් දුන්නා.

    මෙම නඩුකරයට පාදක වන වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවේ දිසා අධිකරණය විසින් බැවින් එය ඉවත් කරන ලෙස මුලින්ම දිසා අධිකරණය හමුවට ගොස් ඉල්ලීමක් කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එසේ ඉල්ලීමක් නොකොට සෘජුවම අභියාචනාධිකරණය හමුවට පැමිණීමට පෙත්සම්කරුට අධිකරණ බලයක් නොමැති බවත් සඳහන් කළා.

    ඒ අනුව අදාල පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බැවින් එය මුල් අවස්ථාවේදීම නිෂ්පකරණ ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ තම සේවා දායකයාට එරෙහිව දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය සහ ඊට අදාළ ලේඛන මේ දක්වා තමන් වෙත ලබාදී නොමැති බව පැවසුවා.

    තම සේවා දායකයා එම තොරතුරු දැනගෙන තිබෙන්නේ මාධ්‍ය හරහා බවත් එම නඩුකරයට අදාල පෙත්සමද ඔහු විසින් ලබාගෙන තිබෙන්නේ මාධ්‍ය වෙතින් බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නා.

    කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 02 වනදා කැඳවන ලෙස නියෝග කළා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් ඉකුත්දා කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

    එම වාරණ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් අභියාචනාදීකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2024 14:53

    Latest News