භානුක, කුසල් හැලුවේ ඇයි ?

මැයි 13, 2024

    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ICC විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ජාතික සංචිතය පිළිබඳව විශ්වාසය පළ කර ඇති අතර, තරගාවලිය සඳහා අවශ්‍ය පිතිකරණ බලය කණ්ඩායම සතු බව ප්‍රකාශ කරනවා.

    මාධ්‍යවේදීන් අමතමින් උපුල් තරංග පැවසුවේ ඔවුන්ගේ වත්මන් දස්කම් මෙන්ම කණ්ඩායම ශක්තිමත් කිරීමට දායක විය හැකි අතිරේක දස්කම් ද සැලකිල්ලට ගෙන සංචිතය තෝරාගෙන ඇති බවයි.

    උපුල් තරංග මේ බව ප්‍රකාශ කළේ ජාතික සංචිතයෙන් භානුක රාජපක්ෂ සහ කුසල ජනිත් පෙරේරා ඉවත් කිරීම පිළිබඳ මාධ්‍ය නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමිනි.

    ධනංජය ද සිල්වා පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද දස්කම් අතර සිටින නිසාත් ඔහුගේ දස්කම් අවසන් තරග කිහිපයේදීම ප්‍රකට කළ නිසාත් කණ්ඩායමේ ස්ථානයක් හිමිකරගත් බව ඔහු පවසා සිටියා.

    කුසල් ජනිත් පෙරේරා ඉවත් කිරීම සම්බන්ධයෙන්, තරංග වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුගේ අවසන් තරඟ කිහිපයේදී හොඳින් දස්කම් දැක්වීමට අපොහොසත් වීම නිසා මෙම තීරණය ගත් බවයි.

    “අපි අන්තිම මොහොත වෙනකම් බලාගෙන ඉඳලා සාකච්ඡා කළා. එහෙත් එය සාර්ථක වූනේ නැහැ. පුහුණුකරුවන්ගේ සහ නායකයාගේ සංචිත අවශ්‍යතා ද සැලකිල්ලට ගැනීමට අපට සිදු වුනා. මෙම අවශ්‍යතා මත 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සහ සංචාරක සංචිත තෝරා ගත්තා, ”යනුවෙන් තරංග වැඩි දුරටත් පැහැදිලි කළා.

    කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, වනිඳු හසරංග සහ දසුන් ශානක වැනි ක්‍රීඩකයින් නිසැකවම කණ්ඩායමට සිය විශිෂ්ට දස්කම් ලබා දෙනු ඇති බව තරංග පෙන්වා දුන්නා.

    භානුක රාජපක්ෂ, 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට තෝරා නොගත්තද, තරඟාවලිය සඳහා සංචාරක සංචිතයට ඇතුළත් ක්‍රීඩකයකු ලෙස එක්සත් ජනපදයට යාමට නියමිතයි.

    Latest News