විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මැයි 06, 2024
    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. 
    ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් ඇතුළු තුන්දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළා.  එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.
    පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පවරා දී තිබෙන බවයි. 
    මේ නිසා විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික තීන්දු තීරණ ගැනීමට අවස්ථාව සැලසෙන අතර එය  විදුලි බල මණ්ඩලයේ පැවැත්මට යහපත් නොවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.
    එමෙන්ම යෝජිත පනත් කෙටුම්පත හරහා විදුලි ගාස්තු අත්තනෝමතික ආකාරයට ඉහළ නැංවීමට බලය පවරාදී ඇති අතර එය මහජන සුභසාධනයට එතරම් යහපත් නොවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.
    ඊට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය, යෝජිත පනත යටතේ සමාගම් කිහිපයකට වෙන් කෙරෙන අතර ඒ තුළින් සේවකයින්ගේ වෘත්තිය සුරක්ෂිතභාවය බරපතළ ලෙස අභියෝගයට ලක් කෙරෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා. 
    ඊට අමතරව මෙම පනත් කෙටුම්පතට පාදක වන විදුලිබල විෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටද අයත් විෂයක් බැවින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාවල අනුමැතිය ලබාගෙන නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවෝ සඳහන් කළා.
    ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.  
     

    Latest News