අද රත්වෙන කාලගුණය බලමුද?

මැයි 06, 2024
    දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අද (06) දිනයේදී "දැඩි අවධානය" යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    එමෙන්ම බස්නාහිර, සබරගමු සහ දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව වාර්තා කළා.
     
    මෙහිදි ප්රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවා.
     
    මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හිසරදය, වමනය, ඇඟපත වේදනාව, නිදිමත ගතිය වැනි රෝගී ලක්ෂණ මතු වියහැකි බව වෛද්යවරු පවසනවා.
     
    රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින මේ දින කිහිපයේදී ඊට සූදානම් වී විභාග මධ්යස්ථාන වෙත පැමිණෙන ලෙසයි.
     
    විශේෂයෙන් හැකිතාක් ජලය පානය කරන ලෙසත් තමන්ගේ විභාග මධ්යස්ථානයේ තමන්ට හිමි ස්ථානයට පීඩාකාරි වන අන්දමෙන් හිරුඑළිය පතිත වන්නේ නම් ඒ බව අදාළ නිලධාරීන්ට දන්වන ලෙසට දැනුම් දී තිබෙනවා.
    Last modified on සදුදා, 06 මැයි 2024 08:08

    Latest News