වැවිලි සමාගම් සතු සියලු ඌන උපයෝජන ඉඩම්වල ආහාර භෝග වගා ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්...

ජූනි 04, 2022

    වැවිලි සමාගම් සතු සියලුම ඌන උපයෝජන ඉඩම් හඳුනාගෙන ආහාර භෝග වගා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී  තිබෙනවා.

    වැවිලි සමාගම් සතුව වගා නොකරන ලද ඉඩම් හෙක්ටයාර 9,000කට අධික ප්‍රමාණයක් පවති. සමාගම් 23ක් සතු එම වතුවල වගාවට සුදුසු භෝග හඳුනාගෙන වැවිලිකරුවන්ට ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනලදි. වැවිලි ක්‍ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ඊයේ (03) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    තේ අපනයනයේ දී රටට හිමිවිය යුතු විදේශ විනිමය විනිවිදභාවයකින් පවත්වාගෙන යා යුතු බවත්, ඒ සඳහා තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බලන ලෙසත් ජනාධිපතිතුමා පැවසීය. වැවිලි ක්‍ෂේත්‍රයේ කර්මාන්තශාලා සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ඉන්ධන ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව සාකච්ඡා කෙරිණ. අමාත්‍යාංශ හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය සහිත කර්මාන්තශාලා හිමිකරුවන්ට නම් කරන ලද ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාවදීමට තීරණය කරනු ලැබීය. තේ, රබර්, පොල් සහ අපනයන කෘෂි භෝග සඳහා ඉතිහාසයේ වැඩිම මිල මේ වන විට ගොවීන්ට ලැබී තිබේ.

    අමාත්‍ය රමේෂ් පතිරණ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාං ලේකම් බී.එල්.ඒ.ජී. ධර්මකීර්ති යන මහත්වරු සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානිහු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

    HEPL02 900px 22 06 03

     

    HEPL03 900px 22 06 03

    Latest News