“අම්මාවරුනේ” රසවින්දනාත්මක වැඩසටහන අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්....

මාර් 08, 2021

    ගුණ නැණ බල සහිත ළමා පරපුරක් බිහි කිරීම වෙනුවෙන් යහපත් දෙමාපිය භාවය ඇති කිරීම සඳහා සංවිධානය කළ “අම්මාවරුනේ” රසවින්දනාත්මක වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

    ජාත්‍යන්තර කාන්තා දිනය-2021ට සමඟාමීව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව “අම්මාවරුනේ” රසවින්දනාත්මක වැඩසටහන සංවිධාන කර තිබිණි.

    මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව හඳුන්වාදෙන “වනිතා වාසනා” බැංකු කාඩ්පත අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම ද මෙම වැඩසටහනට සමඟාමීව සිදුවිය. එහිදී “වනිතා වාසනා” බැංකු කාඩ්පත අගමැතිතුමාට පිළිගැන්වූ අතර ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

    අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සුරතින් මෙහි දී පාසල් සඳහා විෂබීජහරණ හා සනීපාරක්ෂක උපකරණ බෙදා දුන්නේය. නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි වැඩම කළ වදාළහ.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන මහත්වරු, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රියානි කුමාරි ජයසේකර මහත්මිය ඇතුළු දෙමාපියන් දූ දරුවන් රැසක් එක්ව සිටියහ.

    Latest News