රු.5000 ක් ගම්පහට ගෙවන්න කෝටි 40 ක් - අමාත්‍ය ප්‍රසන්න

ඔක් 18, 2020

    කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කරයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ විශේෂ මැදිහත්වීම මත මුදල් අමාත්‍යංශය මෙම ප්‍රතිපාදන වෙන් කල බවයි.

    පළමු අදියර යටතේ මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට සංචරනය සීමාකර ඇති ගම්මාන 05 ඇතුළු මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ වලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පවුල් 72,345 සදහා මෙම 5000 දීමනාව ලබාදීමට කටයුතු යොදා ඇතැයි, ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සඳහන් කළේ අගහරුවාදා (20) සිට මෙම දීමනාව ලබා දීමට සියලු කටයුතු යොදා ඇති බවයි.

    කෝවිඩ් I හා II වටයන් තුළ අනුගමනය කළ පරිදිම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම මුදල ගෙවීමට සැළසුම් කර ඇති බවද ජයලත් මහතා පැවසීය.

    ඇදිරි නීතය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බල ප්‍රදේශ 16 තුළ වෙසෙන ජනතාවට දෙවන අදියර යටතේ එම මුදල ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ හා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

    ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයේ ජනතාවටද මෙම දීමනාව ලබා දීමට පියවර ගැනේ.

    පසුගිය iහා ii වටයන්හී දී ඒ ඒ ග්‍රාම සේවා වසම්වල පත් කෙරුණු ග්‍රාමීය කමිටු හරහා කෝවිඩ් - 19 හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් හඳුනාගැණුන අතර, එම සියලු පවුල් සඳහා මෙවර ද අදාළ දීමනාව ලබාදීමට නියමිත බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

    නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන ලෙස සංචාරක ඇමති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.

    Latest News