සමාජ ශාලා ඩිපෙන්ඩර් සංස්කෘතියක් - අජිත් රෝහන

මාර් 10, 2019

    බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආනන්ද සරච්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු හෙට (11) බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

    ඉකුත් 24 වැනිදා බම්බලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී මිය ගියේය.

    ගාලු පාරේ බම්බලපිටිය, ඩුප්ලි-බුලර්ස් හන්දියේ දී පොලිස් ස්ථානාධිපතිවරයාගේ යතුරු පැදියේ, ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් ගැටීමෙන් ඔහු බරපතල ලෙස තුවාල ලැබීය.

    කොල්ලුපිටිය දෙස සිට වැල්ලවත්ත දෙසට ගමන් කළ ඩිෆෙන්ඩර් රථය, ආලෝක සංඥා පුවරුවේ රතු ආලෝකය දැල්වෙමින් තිබුණ ද එය නොතකා ධාවනය කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි විය. ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල, පැලවත්ත පිහිටි නිවසක සඟවා තිබියදී සොයාගත් අතර, සැකකරුවන් 8 දෙනෙකු ද අත්අඩංගුවට පත්වූහ. ඔවුන්ට ඇප නියම කෙරුණු අතර, රියදුරු පමණක් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණ.

    මියගිය පොලිස් පරීක්‍ෂක ආනන්ද සරත්චන්ද්‍ර මහතා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහු, දරුවන් තිදෙනෙකුගේ පියෙක්. 1989 වසරේ උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස සේවයට බැඳුණු සරත්චන්ද්‍ර මහතා මියයන විට බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළේය.

    මාධ්‍ය හමුවේ දී අදහස් පළකළ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.....

    “මේ රිමාන්ඩ් බාරයේ සිටින පුද්ගලයා මේ සිද්ධියේ සැකකරු බවට අපි පුද්ගල සාක්ෂි සහ වීඩියෝ සාක්ෂි මගින් අනාවරණය කර ගෙන තියෙනවා.

    ඒ වගේම ඔහු ඒ රථය පැඳවූ බවට කැමරාවලින් ලබාගත් වීඩියෝ සාක්ෂිවලින් හඳුනාගෙන තියෙනවා. හඳුනාගැනීමේ පෙරෙට්ටුව අවසන් වූ වහාම අපි මාධ්‍යයට මුදවා හැරිමට බලාපොරොත්තු වෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විවිධ කටකතා වෙනත් ආකාරයේ ප්‍රවෘත්ති බැහැර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම එවැනි අය ප්‍රචාරය කරන අයගේ මුහුණු පොතේ අදාළ ලිපිනයන් අපි ලබාගෙන තියෙනවා. ඔවුනුත් මේ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. 

    බීමත්ව රිය පැදවීම මේ රටින් තුරන් කරන්න. ඒ වගේම සමාජ ශාලා ආශ්‍රිතව ඩිෆෙන්ඩර් සමඟ රාත්‍රී කාලයේ ගැවසෙන බීමත් පුද්ගලයින් පිළිබඳ සංස්කෘතිය මේ රටින් තුරන් කරන්න රථවාහන පොලිසිය හැටියට හෙට දිනයේ ඉදලා දැවැන්ත මෙහෙයුමක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා යැයි“ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 10 මාර්තු 2019 20:12

    Latest News