අගමැතිතුමා හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

මැයි 17, 2021

    බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දි හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත් කළේය.

    1985 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දිරිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා හින්දු සංස්කෘතික අරමුදල ස්ථාපිත කර තිබේ. මෙම අරමුදලේ නව සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පත්කර ඇති අතර හින්දු සංස්කෘතික අරමුදල ඒ මහතා ඇතුළු සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුතු පාලක මණ්ඩලයකින් සමන්විතය.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ඒ. උමා මහේෂ්වරන් සහ සහකාර අධ්‍යක්‍ෂ කේ. හේමලොජිනි මහත්ම මහත්මීන් මෙම අරමුදලට නිල බලයෙන් පත්වේ.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය හින්දු කටයුතු සම්බන්ධීකාරක රාමචන්ද්‍ර කුරුකල් බාබුෂර්මා, අගමැතිතුමාගේ සම්බන්ධීකාරක සෙන්තිල් තොන්ඩමන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News