කොවිඩ්-19‍; තවත් පුද්ගල මරණ 4ක්

නොවැ 08, 2020

    කොවිඩ්-19, තවත් පුද්ගල මරණ 4ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරනු ලැබීය.

    ඒ අනුව, 31 වැනි කොවිඩ් මරණය ලෙස වාර්තා වූයේ, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි කාන්තාවක්. ඇය දීර්ඝකාලීනව හෘද රෝගයකින් පෙළ ඇති බව වාර්තාවේ. ඇගේ නිවසේදී මරණය සිදුව ඇති අතර, ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ, හෘද රෝගය සමඟ වෛරසය ආසාදනය වීමයි. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණ.

     

    මෙරට 32 වැනි කොවිඩ් මරණය වාර්තා වූයේද කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයෙන්. ඇය 69 හැවිරිදි කාන්තාවක වන අතර, දීර්ඝ කාලීනව රෝගා බාධ රැසකින් පසුවී ඇති බවට හඳුනාගෙන තිබේ. එම රෝග තත්වය උස්සන්නවීම නිසා ඇය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම සමඟ නිව්මෝනියා තත්වය උස්සන්න වීමයි. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ද බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණ.

     

    කොවිඩ්-19 මෙරට 33 වැනි පුද්ගල මරණය වාර්තා වූයේ, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන්. ඔහු 67 වියැති පිරිමි පුද්ගලයෙක්. එම තැනැත්තා ද දීර්ඝකාලීන රෝගා බාධයන්ගෙන් පෙළී ඇති බව වාර්තාවේ. කෙටි දින ගණනක් උණ රෝගයෙන් පසුවී ඇති අතර, මරණය සිදුව තිබුණේ, නිවසේදී. ඊට හේතුව ලෙස ද දක්වා ඇත්තේ, වෛරසය ආසාදනය වීම සමඟ නිව්මෝනියා තත්වය උත්සන්න වීමයි. ඔහුගේ අවමංගල්‍ය ද බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණ.

     

    කොවිඩ්-19 මෙරට 34 වැනි පුද්ගල මරණය වාර්තා වූයේ, ගනේමුල්ල ප්‍රදේශයෙන්. ඔහු අවුරුදු 88ක පිරිමි පුද්ගලයෙකු වන අතර, මිනුවන්ගොඩ ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙක්. නිරෝධායනය අතරතුර ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ලග්ගල, පල්ලේගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරුකර යවා තිබේ. එම රෝගියාගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සමඟ ලේ විෂවීමක්. දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

    Latest News