හඳුනාගත් ප්‍රදේශ ගණනාවක් තවදුරටත් හුදෙකලා කෙරේ

නොවැ 08, 2020

    නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියළුම ප්‍රදේශවල එය හෙට (09) අලුයම 5.00 සිට ඉවත් කරන බව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානය පවසයි.

    කෙසේ වුවද දිස්ත්‍රික්ක කිහිපයක හඳුනාගත් ප්‍රදේශ ගණනාවක් තවදුරටත් හුදෙකලා කර තැබීමට පියවර ගෙන ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කෙරුණ ද මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් සහ වෙරළබඩ පොලිස්වසම් හුදෙකලා කර තිබේ. ආදුරුප්පුවීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල, කෙසෙල්වත්ත යන පොලිස් වසම් ද තවදුරටත් හුදෙකලා කර තැබෙන ප්‍රදේශවලට ඇතුලත්.

    ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුව, ජා-ඇල සහ සපුගස්කන්ද යන පොලිස්වසම් හුදෙකලා කර තැබේ.

    කළුතර දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදෙකලා කර තැබෙන්නේ හොරණ, ඉංගිරිය යන පොලිස් වසම් සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසමයි.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය පොලිස් වසම ද තවදුරටත් හුදෙකලා කර ඇති ප්‍රදේශවලට අයත්.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් වසම් දෙක ද තවදුරටත් හුදෙකලා කර තැබෙනු ඇත.

    කොළඹ දිස්ත්‍රික්කයේ මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, මෝදර රන්මිණ සෙවණ, සිරිසඳ උයන සහ මාලිගාවත්ත එන්.එච්.එස්. යන නිවාස සංකීර්ණවල ජනතාවට සංචරණ අවම කරමින් නිවෙස් තුළම රැඳී සිටින ලෙස පොලිසිය දැනුම් දෙයි.

    Latest News