කොටි සංවිධානය පරාජය කළ නිසා දෙමළ ජනතාව දැන් නිදහසේ ජීවත්වෙනවා; අගමැති

මැයි 19, 2020

    ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක කළ මෙහෙයුම දෙමළ ජනතාවට විරුද්ධව සිදුවූවක් නොව කොටි සංවිධානයට එරෙහි යුද්ධයක් පමණක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එතුමා මේ බව අවධාරණය කළේ ජාතික රණවිරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින්. කොටි සංවිධානයේ පරාජය නිසා දෙමළ ජනතාවට ද දැන් නිදහසේ ජීවත්වීමට ඉඩ ලැබී තිබේ. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, උතුරු-නැගෙනහිර පළාත්වලත් මැතිවරණ පැවැත්වීමට හැකිවීම නිසා එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලය ද නැවතත් තහවුරු වී ඇති බවයි. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අද කොවිඩ් 19 රෝගයට එරෙහිව සෞඛ්‍ය අංශ සමඟ ඒකාබද්ධ මෙහෙයුමක නිරතව සිටී.

    මේ අවස්ථාවේ සියළුම කරුණුවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව කොවිඩ් 19 සටනින් ද ජයග්‍රහණය කරමින් සිටින බවයි. රෝගය පැතිරීම වැළැක්වීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදු කරන පෙරමුණු බලඇණි කාර්ය භාර කොවිඩ් 19 රෝගය මේ ආකාරයට පාලනය කිරීමට සෞඛ්‍ය අංශවලට අතිමහත් පිටිවහල් වූ බවට අවිවාදාත්මකයි. අපේ සමාජය තුළ සිවිල් හා මිලිටරි වශයෙන් කෘතිම භේදයක් ඇති කිරීමට යහපාලන දේශපාලන පක්‍ෂ ඇඳගනිමින් සිටින දුෂ්ට උත්සහය තරයේ හෙලා දකින බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

    එදා සිටි සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගයට අද රණවිරු පාර්ශවයත් එක්ව සිටී. එබැවින් අපගේ ආණ්ඩුවක් බලයේ සිටින විට ආරක්‍ෂක හමුදාවල හිටපු සාමාජිකයන් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ විවිධ තනතුරු දරන බව ද අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන්.

    ආරක්‍ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ කිසිදු බලවේගයකට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි. සාමකාමී අනාගතයක් භුක්තිවිඳීම සඳහා අප රණවිරුවන් කළ කැප කිරීම වෙනුවෙන් මුළු රටම ඔවුන්ට ණය ගැති බව ද ආරක්‍ෂක ලේකම්වරයා පවසයි.

    Latest News