රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් පීඩනයට පත් කරන්න කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැ; ජනපති ප්‍රතිඥා දෙයි (වීඩියෝ)

මැයි 19, 2020
  • අප රටට හා රණවිරුවන්ට අසාධාරණයක් වන ආකාරයට ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම ක්‍රියා කරන්නේ නම්, එම ආයතනවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට තමා කිසිවිටෙකත් පසුබට නොවන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    එතුමා ප්‍රකාශ කළේ තම රජය යටතේ විරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය හැමවිට ආරක්‍ෂා කිරීමට තමා සහතික වන බවයි. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ජාතික රණවිරු අනුස්මරණ දින උත්සවයට අද (19)පස්වරුවේ එක්වෙමින්.

    උත්සවය චාම් හා අභිමානවත් අයුරින් බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අභියස පැවැත්විණ. සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් අනුස්මරණ උත්සවය පැවැත්විණ. සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් මෙවර රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන්ගේ ළඟම ඥාතීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.

    2009 වසරේ මැයි 19 වැනිදා පරාජයට පත් කළ එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23,962 දෙනෙකු සිය ජිවිතය මාතෘ භූමිය වෙනුවෙන් පූජා කළේය.

    නාවික හමුදාවේ 1,160 දෙනෙකු සහ ගුවන් හමුදාවේ 443 දෙනෙකු රට දැය වෙනුවෙන් දිවිපිදු පිරිසට ඇතුළත්. තවද, ශ්‍රී ලංකා පොලිසියේ 2,598 දෙනෙකු සහ සිවිල් ආරක්‍ෂක බලකායේ 456 දෙනෙකු ද මෙම අභිමානවත් උත්සවයේ දී සිහිපත් කෙරුණේ, මහත් ගෞරවයෙන්. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කෙරිණ. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත් සිදු කෙරිණ.

    පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබුවේ, රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්දන සේනාධීර මහතා විසින්.

    උත්සවය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රකාශ කළේ, ජිවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු දෙනාට අභිමානයෙන් ජිවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට උපරිමයෙන් කැපවන බවයි.

    ගුවනින් සිදු කරනු ලැබූ පුෂ්පෝපහාර මධ්‍යයේ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා විරෝධාර රණවිරුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරනු ලැබීය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් දි එයාර්ෆෝස්, රොෂාන් ගුණතිලක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ අනෙකුත් විශේෂ ආරාධිතයන් මල් කළඹ තබා උපහාර පුද කළේ ඉන් අනතුරුවයි.

    හිරු නැගෙනා මොහොතේදී ත්, හිරු බසිනා මොහොතේදීත්, රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ගැයෙන ත්‍රිවිධ හමුදා බියුගල් නලා හඬ මධ්‍යයේ දිවි පිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන්, දූ දරුවන් ඇතුළු ඥාතීන් පුෂ්පෝපහාර පුද කළේය.

    Last modified on අඟහරුවාදා, 19 මැයි 2020 20:28

    Latest News