පොලිස් නිල සුනඛ වෙන්දේසියක් (වීඩියෝ)

අගෝ 15, 2020
  • ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ අංශය පිලිබඳව අපි බොහෝ දේ අසා තිබේ.

    හෙළි කරගත නොහැකි බොහෝ අභිරහස් පිළිබඳ තොරතුරු, ජාවාරම්කරුවන්, අපරාධකරුවන් මෙම සුනඛයින් සොයා ගෙන තිබේ. අද අපි මේ කියන්නේ ඒ, පොලිස් නිල සුනඛ අංශයේ වෙන්දේසියක් පිළිබඳවයි. එය පැවැත්වුණේ මහනුවර නිල සුනඛ මූලස්ථානයේ.

    වෙන්දේසියට සුනඛයින් 25ක් ඉදිරිපත් කර තිබිණ. බොහෝ දෙනා වසර 10ක් පමණ වූ සුනඛයින්. ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයා වෙන්දේසි වුණේ, රුපියල් එක් ලක්‍ෂ එක් දහසකට. 2018 ජුනි මස 18 වැනිදා උපත ලද මේ සුනඛයා පරිත්‍යාගයක් ලෙස පොලිස් නිල සුනඛ කොට්ඨාසයට ලැබී තිබිණ. පොලිස් රාජකාරිවලට පුහුණු කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙසේ වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.

    සිම්බා නමැති සුනඛයා රුපියල් 50,000කටත් රෙක්ස් රුපියල් 23,000කටත්, රෙජි රුපියල් 17,500කටත්, ලිලී රුපියල් 16,000කටත් වෙන්දේසි විය. පැවති වෙන්දේසියේ දී අවම මිලකට වෙන්දේසි වුණේ, හීරෝස් නමැති සුනඛයායි. ඒ රුපියල් 1,100කට. වෙන්දේසියෙන් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබුණු මුදල රුපියල් 315,800ක්.

    වයසට යාමත් සමඟ තවදුරටත් සේවයේ යෙදිය නොහැකි වූ සුනඛයින් රැසක් පැමිණි පිරිස් මිලදී ගත්තේය. මීමුරේ ප්‍රදේශයේ අතරමං වූ ළමුන් සොයාගත් රෙජී, ඒ වගේම ත්‍රිකුණාමල ප්‍රදේශයේ ගංජා ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සහය වූ රෝසි නමැති සුනඛයාත් මේ අතර සිටියා. දකුණු පළාතේ විවිධ අපරාධකරුවන් වගේම, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සහය වූ බම්පර්, නිරෝෂ්, අජා වගේම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට දක්‍ෂතා දැක්වූ ජෙසී, සසී, රෙක්ස් යන සුනඛයින් ද වෙන්දේසියට එක්කර තිබිණ.

    Last modified on සෙනසුරාදා, 15 අගෝස්තු 2020 20:09

    Latest News