ජාතික තරුණ දින පණිවුඩය

මැයි 23, 2021

    ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අනගිභවනීය මෙහෙවර අගයමින් සෑම වසරකම මැයි 23වැනිදා සමරන ජාතික තරුණ දිනයට මාගේ සුභාශිංසනය පළ කරමි.

    1983 මැයි 23 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරන සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය නිල වශයෙන් ස්ථාපිත කිරීම සිහිපත් කරමින් 1999 සිට වාර්ෂිකව මෙම දිනය සමරනු ලබයි.

    මෙරට ඉතිහාසය ලාංකේය තරුණ තරුණියන්ගේ ශක්තියෙන් වර්ණවත් වූ බව නොරහසකි. ජයග්‍රහණයේ දී මෙන්ම පරාජයේ දී ජීවිතය විඳිමින් ලාංකේය තාරුණ්‍යය මාතෘභූමියේ අවශ්‍යතාව වෙනුවෙන් කැපවී තිබේ.

    ඔවුන්ගේ ශක්තිය කැපවීම එකමුතුකම හා ධෛර්යය හේතුවෙන් අපේ රට දිනෙන් දින ශක්තිමත්ව නැගී සිටිමින් නව ලොවට පිය නැගුවේය. තරුණ පරපුරේ වටිනාකම නිවැරදිව හඳුනා නොගත් ඇතැම් යුග, තරුණ ජීවිත අහිමි කරමින් අඳුරෙන් වැසී ගිය බව ඔබත් මාත් හොඳින්ම දන්නා කරුණකි.

    ජීවිතයේ වටිනාම කාලය බුද්ධියට ඉඩ දී කටයුතු කිරීම තුළින් තමන්ගේ මෙන්ම රටේ අනාගතය ද බැබළවීමේ ඉඩ ප්‍රස්ථාව උදාවන අතර ආදර්ශමත් තරුණ තරුණියන් ලෙස ඉදිරියට පැමිණ ඔබ සැම රටේ වගකීම් භාරගත යුතු බව මාගේ විශ්වාසයයි.

    රට පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ නව අදහස්වලට සවන් දෙමින් ඔවුන්ගේ දැක්ම, රටේ දැක්ම සමඟ යාවත්කාලීන කිරීමට මැදිහත්වී කටයුතු කිරීමට අවස්ථාවක් ලැබීම ජීවිතයේ මා ලැබූ භාග්‍යයකි. තාරුණ්‍යයේ ශක්තිය විදහා පෑ මෑතකාලීන හොඳම උදාහරණය කොවිඩ් 19 වසංගතය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පෙරට ආ තාරුණ්‍යයයි.

    දකුණු ආසියාවේ විශාලතම ස්වෙච්ඡා සංවිධානය ලෙස ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, ජාතික තරුණ සේවා සභාවේ මැදිහත්වීම යටතේ දින 10න් ඇඳන් 10000ක් අභියෝගය යථාර්ථයක් බවට පත් කළේය. එපමණක් නොව ඔබ දැන් පවතින ලේ හිඟයට පිළියමක් සපයමින් ලේ පරිත්‍යාග කිරීමේ ජාතික සද්කාර්යයක් අරඹා තිබීම ඉතා ප්‍රශංසනීය වේ.

    මේ වනවිට කොවිඩ් - 19 වසංගතයෙන් විශාල බලපෑමක් තරුණ පරම්පරාව වෙත එල්ල වෙමින් පවතී. මෙවන් දුෂ්කර කාලවකවානුවක එක් පැත්තකින් තම ජීවිතය ගොඩනගා ගැනීමේ අභියෝගය ජයගන්නා ගමන් අනෙක් පැත්තෙන් කොවිඩ් පරාජය කිරීමේ අභියෝගය ජය ගැනීමට අපේ රටේ තාරුණ්‍යය පෙළ ගැසිය යුතුය.

    රටක දියුණුවට තරුණ්‍යයේ දායකත්වය අත්‍යවශ්‍ය වනවා සේම ඔවුන් තරුණ වසායකයින් ලෙස නගා සිටුවමින් නව ලොව වෙත කැඳවාගෙන යාම මාගේ අභිප්‍රායයි. එසේම ජතික තරුණ සේවා සභාව ජාතික තරුණ දිනයට සමගාමීව අර්ථවත් අරමුණක් පෙරදැරිව අද ආරම්භ කරන 'Young කතා' සංවාදය සාර්ථක වේවා ! යැයි සුබ පැතුම් එක්කරමි.

    ජාති ආගම් භේද නොමැතිව මා සමඟ ජවයෙන් ඉදිරියට යන ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට සියලු අභියෝග එක්ව ජයගමු යැයි ආරාධනා කරන අතර ඔබගේ අනාගත බලාපොරොත්තු මෙන්ම ජාතික තරුණ දින අපේක්ෂාවන් ඉටුවේවා! යැයි ප්‍රාර්ථනා එක්කරමි.

    Latest News