හිටපු ජනපතිගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා ජනාධිපති කොමිසම හමුවට

නොවැ 28, 2020

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඒ වන විට සිංගප්පුරුවේ රැදී සිටි හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනිම සදහා තමන්ගේ දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇති බව දුරකතන වාර්තාවල සදහන් වුවද, ඒ පිළිබද තමන්ට මතකයක් නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ කියා සිටියා.

    කෙසේ වෙතත් මෙම නිලධාරියා මීට පෙර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ලබාදී ඇති ප්‍රකාශයේ සහ ඊයේ දින කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිවල පරස්පරතා රැසක් කොමිසම් සභාවේ නිරික්ෂණයට ලක්වුණා.

    පාස්කු ප්‍රහාරයට පෙරදින පස්වරු 6.16 ට සහ ප්‍රහාරය එල්ල වු දින ප්‍රහාරය එල්ලවීමට පෙර පෙ.ව 7.59 ට එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා ඒ වන විට සිංගප්පුරුවේ රැදී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකතන ඇමතුම් ලබාගෙන ඇති බව මේ වන විට ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය වී තිබෙනවා.

    ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විමසීම සදහා ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසමට කැදවා තිබුණේ අදාළ අවස්ථාව වන විට ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකතන අතැතිව සිටි වර්තමානයේද හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාව කරයුතු කරන ප්‍රියන්ත පුෂ්පකුමාර මහතායි.

    එහිදි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 16 දින ජනාධිපතිවරයා සමග පෞද්ගලික විදෙස් සංචාරයට ඔබත් පිටත් වූයේද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා තමන්ද එම ගමනට සහභාගි වූ බව කියා සිටියා.

    එම ගමනට හිටපු ජනාධිපතිවරයා සමග සහභාගි වු පිරිස කවුරුන් දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදි විමසුවා.

    " ජනාධිපතිතුමාගේ බිරිද, පෞද්ගලික වෛද්‍යවරයා, ප්‍රධාන ආරක්ෂක නිලධාරි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ මම එම ගමනට සහභාගි වුණා යැයි සාක්ෂිකරු පැවසුවා.

    ජනාධිපතිවරයාගේ දරුවන් සහභාගි වුනේ නැද්දැයි අතිරේක සොලිසිටර් ජනාරාල්වරිය පෙරළා විමසීමක් කළා.

    "ජනාධිපතිවරයාගේ පුතා කළින්ම එහේ ගිහින් ඉදලා එහෙදි අපත් සමග සම්බන්ධ වුණා. අනෙක් දරුවන් දෙදෙනාත් සහභාගි වුණා වගේ මතකයි යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

    ඔබ දැන් කියනවා දරුවන් සහභාගි වුණා කියලා නමුත් ඔබ මේ කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශ දෙද්දි හිටපු ජනාධිපතිවරයාගේ දරුවන් මේ ගමනට සහභාගි වුණා කියලා සදහන් කරලා නැහැ නේදැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි ප්‍රශ්න කළා.

    නැහැ ස්වාමිනි. මට ඒ වෙද්දි මතකයක් තිබ්බේ නැහැ. මම ඊට පස්සේ කිහිප දෙනෙක්ට කතා කරලයි හොයා ගත්තේ. මට දරුවන් ගැනයි, හෝටලය ගැනයි ප්‍රකාශවලදි සටහන් කරන්න බැරිවුණ නිසා මම ඒ ගැන පස්සේ හොයාබැලුවා යැයි සාක්ෂිකරු සදහන් කළා.

    "හරි එහෙනම් මට කියන්න හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරුවට ගියාම රැදී සිටි හෝටලය මොකක්ද යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදි ප්‍රශ්න කළා.

    "කාල්ටන් කියලා හෝටලයක නැවතුනේ " යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

    එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නගත කාල වකවානුවේ සාක්ෂිකරු සතුව පැවති හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයෙහි දුරකතන වාර්තා කෙරෙහි අවධානය යොමු කළා.

    "2019 අප්‍රේල් 18 ඉදලා 21 වෙනකං හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවස හරහා සිංගප්පුරුවේ සිටි ඔබ සතුව පැවති හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයට ඇමතුම් 43 ක් ඇවිත් තියෙනවා. ඔබ සතුව පැවති දුරකතනයෙන් ඇමතුම් 07 ක් අරන් තියෙනවා පැජට් පාරේ පිහිටි නිල නිවසට. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා එතුමාගේ අවශ්‍යතාවලට ඔබ සතුව පැවති දුරකතනයෙන් ඇමතුම් ගත්තා කියන එක නේදැයි. රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවා.

    නැහැ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවලට පමණක් නෙමේ අපේ අවශ්‍යතාවලටත් ඇමතුම් ගන්නවා. අනික ජනාධිපතිතුමාගේ පවුලේ අයත් සම්බන්ධ වෙලා හිටපු නිසා එයාලට එන ඇමතුමුත් මේ දුරකතනයට එනවා යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

    ඔබ ඔය කියන්නේ පවුලේ අනිත් අයට ඇමතුම් එන්නෙත් ඒ අය ඇමතුම් ගන්නෙත් මේ දුරකතනයෙන් කියලද, ඒ අයත් හිටපු ජනාධිපතිතුමා වගේ ජංගම දුරකතන භාවිතා කළේ නැහැ කියලද දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙරළා ප්‍රශ්න කළා.

    නැහැ එහෙම නෙමේ. ඒ අය ජංගම දුරකතන භාවිතා කළා. ඒ වුනාට යම් යම් ඇමතුම් ආවා යැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා පිළිතුරු දුන්නා.

    ඉකුත් වසරේ අප්‍රේල් 20 සවස 6.16 ට රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඔබ සතුව පැවති දුරකතනයට ඇමතුමක් ආවදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදි විමසුවා.

    නැහැ එහෙම ඇමතුමක් ආවේ නැහැ යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

    එහිදි නැවතත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල වු දින ප්‍රහාරයට පෙර පෙ.ව 7.59 ට පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා ඔබ සතුව පැවති දුරකතනයට ඇමතුමක් ලබාගත්තේද යන්නයි.

    දුරකතන ඇමතුමක් ආ බවක් මේ වාර්තාවේ පෙන්නුම් කරනවා. නමුත් මට ඒ ගැන මතකයක් නැහැ යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

    මහත්මයා මේ ඇමතුම විනාඩි 2යි තත්ත්පර 64 එහෙම ඇමතුමක් මතක නැති වෙන්න බැහැනේ යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යළි ප්‍රශ්න කළා.

    ස්වාමිනි මේ ඇමතුම ඇවිත් දැන් අවුරුදු එකහාමාරකටත් කිට්ටුයි. ඒ නිසා මට ඒ ගැන මතකයක් නැහැ යැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාව ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පිළිතුරු දුන්නා.

    මේ අතර ඉන් අනතුරුව ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසමට පැමිණි පොලිස් නීතිදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කලකට පෙර පාර්ලිමේන්තුට ගෙන ආ ප්‍රතිත්‍රස්ත පණත සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ, ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා පත්කල කමිටුව සිය වාර්තාව මගින් යෝජනා කළ ඇතැම් වැදගත් නිර්දේශ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවසන් පනත් කෙටුම්පතෙහි අන්තර්ගත නොවූ බවයි.

    "ස්වාමිනි, වර්තමානය වනවිට මෙරට තුළ පවතින ත්‍රස්තවාදි ගැටලුවලට එරෙහිව ක්‍රියාත්මක විම සදහා 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පණත ප්‍රමාණවත් නැහැ කියන එක 2016 වර්ෂය වෙද්දි එවකට පැවති ආණ්ඩුවට වැටහුණා. මොකද 1979 පමණ වෙද්දි යාපනය ආශ්‍රීතව මතුවෙමින් පැවති ත්‍රස්තවාදි ගැටළු නෙමේ දැන් ති‍යෙන්නේ. ඒ හින්දා ත්‍රස්තවාදය සහ විමර්ශන ගැන ලෝකයේ වර්තමානයේ පවතින ක්‍රමවේදයන්ට අනුරූපව ප්‍රතිත්‍රස්ත පණතක් ගෙන ඒම සදහා එවකට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. හිටපු නීතිය හා සාමය විෂය භාර අමාත්‍ය සාගල රත්නායක ඇතුළු 12 දෙනෙක් මෙහි සමාජිකයන් වුණා. ඒ වෙද්දි අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වු වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් පළමුව සංකල්ප පත්‍රයක් දැම්මා. පස්සේ ඒ කමිටුව 27 පාරකට වඩා රැස්වෙලා වැදගත් නෛතිකමය කාරණා මතු කරමින් වගන්ති එක් කරමින් සහ ඉවත් කරමින් කෙටුම්පත් යෝජනාවක් සකස් කළා. " යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළා.

    කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අදාළ ප්‍රතිත්‍රස්ත පණත සදහා කමිටුව ඉදිරිපත් කළ ඉතා වැදගත් නිර්දේශ රැසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවසන් කෙටුම්පතේ අන්තර්ගත නොවු බවයි.

    "ස්වාමිනි, සහරාන් කොහොමද ත්‍රස්තවාදි කටයුතු කළේ අනිත් අය එක්ක සම්බන්ධතා පැවැත්වුවේ කොහොමද කියන එක මේ වෙද්දි අනාවරණය වෙලා ඇති ඔබතුමන්ලා ඉදිරියේ, ඉස්සර ප්‍රභාකරන් කැලෑ ඇතුලේ සංවිධානය වුනාට සහරාන් එහෙම සංවිධානය වුනේ නැහැ. ටිම් බර්නස් අන්තර්ජාලය සොයා ගත්තට පස්සේ සියල්ල වෙනස් වුණා. කොහොම වුනත් අපි ප්‍රතිත්‍රස්ත පණත් කෙටුම්පතට ඔත්තු බැලීම කියන නිර්ණායකය යටතේ වරදක් ඇතුළත් කළා. නමුත් අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණ කෙටුම්පතේ එය අන්තර්ගත වුනේ නැහැ." යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළා.

    කෙසේ වෙතත් ඉන් අනතුරුව පසුකාලිනව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම ප්‍රතිත්‍රස්ත පණත් කෙටුම්පත ඉවත් කර ගනු ලැබු බවද කියා සිටියා.

    Latest News