අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර

නොවැ 24, 2020

    කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වනවිට අබලන් තත්වයට පත්වීමට විසදුම් වශයෙන් ඉදි කිරීමට නියමිත ‘’අධිකරණ පියස’’ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කිරීම් කඩිනම් කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පසුගියදා පැවති සාකච්ඡාවකදි අධිකරණ අමාත්‍යාංශ නිලධාරින්ට හා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    ‘’අධිකරණ පියස’’ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා අක්කර 06 ක ඉඩමක් වෙන් කර ඇති අතර, ඒ තුළ මහල් 12 කින් සමන්විත අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැගිල්ලක්, අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු සඳහා මහල් 08 කින් යුත් ගොඩනැගිල්ලක්, විනිසුරුවරුන්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් පුහුණු මධ්යසස්ථානය සඳහා ගොඩනැගිල්ලක් හා නව නීති මධ්‍යස්ථානයක් සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතව ඇත.

    විශේෂයෙන් කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වනවිට අබලන් තත්වයට පත්වීම හේතුවෙන් අධිකරණ කටයුතු සඳහා පැමිණෙන ජනතාව විශාල වශයෙන් අපහසුතාවයන්ට පත්ව තිබේ.

    මේ සඳහා අවශ්‍යය මුලික කටයුතු මේ වන විටත් සිදුව තිබෙන අතර ‘’අධිකරණ පියස’’ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම තුළින් මහ ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කරදීම කළ යුතු බවත් එහි ඉදි කිරීම් කටයුතු කඩිනම් කළ යුතු බවත් අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කළේය.

     

     

    Latest News