ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති අල්ලස් නඩුව කල්යයි

ජන 20, 2020

    විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේදී එම කොමිසමේ කොමසාරිස්වරු විසින් ඊට අදාළ ලිඛිත අනුමැතියක් ලබා දී තිබේද යන්න පිළිබඳව කරුණු දැක්වීම සඳහා එම නඩුව මේ මස 24 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

    මෙම නඩුව අද(20) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියෙහි කැඳවනු ලැබීය.

    විත්තියේ නීතිඥවරු මීට පෙර නඩු දිනයේ අධිකරණයේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත අනුමැතියක් ලබා දී තිබේ ද යන්න පිළිබඳව විමසීම් කළ අතර එවැනි  ලිඛිත අනුමැතියක් ලබා දී තිබේ නම් එය අධිකරණය හමුවේ ඉදිරිපත් කර ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණි.

    ඒ අනුව මෙම කරුණ පිළිබඳ දෙපාර්ශ්වයේ කරුණු විමසීම සදහා නඩුව නැවත මේ මස 24 වනදා  කැදවන බව මහාධිකරණ විනිසුරුවරිය තීන්දු කළාය.

    ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ.

    එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද වරදක් සිදුකර ඇතැයි මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත.

    Latest News