අයවැය දෙවැනිවර කියැවීම වැඩි ජන්ද 93 කින් සම්මතයි

නොවැ 22, 2021

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම වැඩි ජන්ද 93 කින් අද (22) සම්මත විය.

    ඊට පක්ෂව ජන්ද 153 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 60 කි.  

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂ, විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුලු විපක්ෂයේ පාර්ශව විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමට විරුද්ධව ජන්දය භාවිත කළේය. ජන්ද විමසීම ප.ව 5.10 ට සිදු කෙරුණි.  

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම (අයවැය කථාව) නොවැම්බර් මස 12 වැනි සිකුරාදා සිදු කළේය.  නොවැම්බර් 13 සෙනසුරාදා සිට අද (22) දක්වා දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම විවාදය ආරම්භ කළේය. විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදයේ පිළිතුරු කථාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ සිදු කරන ලදී.  හෙට (23) සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර, සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වැනි සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වේ.

    දෙසැම්බර් 10 වැනි දින ප.ව 5.00 ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

    Latest News