ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ විශේෂ ගැසට් නිවේදනය

මැයි 08, 2020

    ලබන 11 වැනි දින සිට සාමාන්‍ය කටයුතු සඳහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රය හෙට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    රජය මේ වනවිට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මැයි මස 11 වැනි දින සිට විවෘත කිරීමට සැළසුම් කර තිබේ.

    නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් අදාළ කටයුතු සිදු කිරීමට ආයතන ප්‍රධානීන්ට මේ වනවිටත් වගකීම් පවරා ඇති බව සඳහන් වේ.

    පෙරවරු 10.00 ට පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු අතර සේවයට කැඳවන සේවක සංඛ්‍යාව තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරී ඇති අතර, අදාළ කටයුතු නිසි නීතිමය රාමුවක් යටතේ සිදුකිරීමට සැළසුම් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

    මෙම තීරණ ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08 වැනිදා) පැවැත්වෙන අතර ඒ සඳහා ආරක්ෂක හා සෞඛ්‍ය අංශවල නියෝජිතයන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුද සහභාගි වෙති.

    එම සාකච්ඡාවෙන් පසු නිරෝධායන නීතිරීති අනුව ගැසට් නිවේදනය නිකුත් කෙරෙන අතර එය කඩකරන්නන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කෙරෙන බවද පොලිසිය පවසයි.

    සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා ද ආරම්භ කෙරේ.

    රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සේවකයෝ තුන්දහසක් පමණ ලබන සඳුදා කොළඹ පැමිණීම සඳහා මේ වනවිටත් දුම්රිය ආසන වෙන් කරගෙන සිටිති.

    දුම්රිය මැදිරියකට ඇතුළු විය හැකි වන්නේ පනහක් වැනි සීමිත පිරිසකට පමණක් වන අතර තමන්ට වෙන් කර ඇති මැදිරියේ අදාළ ආසනය හැර වෙනත් ආසනවල අසුන් ගැනීම මගීන්ට තහනම් බවත් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා දුම්රිය ආරක්ෂකයන් සෑම මැදිරියකටම යොදවන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

    මීට අමතරව ආසන වෙන් කරගෙන නොමැති මගීන් ගොඩවීම වැළැක්වීම සඳහා යුද හමුදා සාමාජිකයන්ද සෑම මැදිරියකටම යෙදවීමටද දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    නියමිත මගීන් සංඛ්‍යාව සම්පූර්ණ වන දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා අදාළ දුම්රිය ශීඝ්‍රගාමී කිරීමට ද අවධානය යොමු කරන බවත් වාණිජ අධිකාරීවරයා පවසයි. 

    මගීන් සියලු දෙනා මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය වන අතර එදින රජකාරි අවසන් වීමෙන් පසු යළි ගමන් කීරිමේදී වෙන් කළ ආසනය හැර වෙනත් ආසනවල අසුන් ගැනීම තහනම් බවත් සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 12:58

    Latest News