රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි විනාශ කළ බවට චෝදනා එල්ල වී සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.

ශ්‍රී ලංකා නැව් සංස්ථාවට 2010-2015 වසරවල දී සිලෝන් බ්‍රීස් ප්‍රින්සස් නෞකාව මිලදී ගැනිමේදී නැව් සංස්ථාව AVL international Beijing සමාගමට එක් නෞකාවකට, නෞකාවේ වටිනාකමට වඩා මුදලක් ඇමරිකානු ඩොලර් මිලියන 35ක් ගෙවීමෙන් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධියේ හිටපු වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් සහ ඔහු‍ භාවිතා කළ පරිඝණකය පරීක්ෂා කළ බවත් එහිදී මහාපරිමාණ මුදල් සංස්කරණය වීම් මෙන්ම දේපල මිලදී ගැනීම් අනාවරණය වූ බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ ප්‍රතිශෝධන පෙත්සමක නියෝගය සැප්තැම්බර් මස 12 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා තමන්ට අපහාස කළේයැයි චෝදනා කරමින් පලාත් සභා මන්ත්‍රී එස්.ඒ.ඩී ජගත් කුමාර මහතා ගොනුකර නඩුව දෙපාර්ශවය විසින් විවෘත අධිකරණයේ දී ඉල්ලා අස්කරගෙන තිබේ.

CID අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

ගංජා කිලෝ ග්‍රෑම් 5.3 ක් සන්තකයේ  තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා වලට වරදකරු කෙරුණු පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කළේය.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 14 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිව සැප්තැම්බර් 04 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන මහතා වෙනුවෙන් පණවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම ක‍ළේය.

වසරක සිර දඬුවමක් නියම වූ සතොස හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා තීන්දුවට එරෙහිව අභියාචානා ගොනු කිරීම නිසා රු. ලක්ෂ 3ක ශරීර ඇප මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.