ඉකුත් රජය සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරී වලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් නොවැම්බර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නොවැම්බර් මස 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය නොවැම්බර් 14 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියෝග කෙරේ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොවැම්බර් මස 14 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් බන්ධනාගාර බලධාරීන්ට නියම කළේය.

ජනාධිපතිවරණය සමයේ මංමාවත් හා ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර්,බැනර්,කටවුට් ඇතුළු ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබීම නිසා එම නඩුව නැවත ජනවාරි මස 09 වැනිදා කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය නොවැම්බර් මස 28 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය.

පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය පෙබරවාරි මස 10 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ කොටුව ජනාධිපති මාවතේ නීතිවිරෝධිව පවත්වා ගෙන ගිය Gsm ජංගම දුරකථන ජාලයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දිණි.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානී ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුලු සැකකරුවන් හයදෙනා 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.