නාමල්ට එරෙහි ගවර් කෝපරේට් නඩුව පෙ.10 යළි විභාගයට

ඔක් 14, 2019

    පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය පෙබරවාරි මස 10 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඉල්ලීමක් කරමින් තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන විශේෂ නඩු විභාගයට සහභාගි වීමට නියමිතව තිබෙන බැවින් මෙම නඩුවේ විභාගය කල් තබන මෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ විභාගය පෙබරවාරි මස 10 වනදා දක්වා කල් දැමීමට නියම කළේය.

    ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමැති සමාගමක ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින්ම නාමල්රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු හය දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 11:32

    Latest News