බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක මහතා කටහඩ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා හමුවට අද ඉදිරිපත් කෙරිණ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද දෙවන දිනයේත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කළේය.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහු ලබන 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් ඉවත්කර වෙනත් විනිසුරුවරයෙකු හමුවට යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියෝග කළේය.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිලිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 28 දෙනා පෙබරවාරි 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ඒ මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ගොනුකළ නඩුව, පෙබරවාරි 12 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාවේ අනුමැතිය හිමිව ඇත.

ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනූව රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.