නවීකරණය කළ “සිරිමතීපාය” ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

ජන 20, 2022

නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමාවට මල් පූජා කිරීමෙන් අනතුරුව රාජකාරී ආරම්භය සංකේතවත් කළේය.

නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රදර්ශනයට තබා ඇති ඡායාරූප නැරඹූ ජනාධිපතිතුමා කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කළේය. කාර්යාලයේ නව රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරමින් මුල් දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්දිරයේ ප්‍රතිසංස්කරණය සිදු කර තිබේ.

ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා මහතා වෙනුවෙන් මෙම දෙමහල් මන්දිරය වර්ෂ 1916 දී ඉදිකර තිබේ. එතුමාගේ අභාවයෙන් පසු වර්ෂ 1960 දී පවුලේ සාමාජිකයන් විසින් එය රජයට පවරා දෙනු ලැබිණ.

අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය, පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය එකළ සිරිමතීපායෙහි පවත්වාගෙන ගොස් ඇති අතර වර්ෂ 1978 දී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් සිරිමතීපායෙහි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවීය.

වසර සියයකට වඩා අධික “සිරිමතීපාය” පැරණි සැලසුමට අනුවම පූර්ණ නවීකරණයට ලක් කොට ඇත්තේ වසර 44කින් පසුව ය.

“සිරිමතීපාය” ඉතිහාසය පිළිබඳ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් ග්‍රන්ථය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජනාධිපතිතුමාට පිළිගැන්විණ.

නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය කාර්යාලයේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරු සමග ඡායාරූපයකට පෙනී සිටියේය. අනතුරුව සමරු පොතෙහි සටහනක් ද තැබීය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු, හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරු, රාජ්‍ය නිලධාරිහු සහ ඇල්බට් අර්නස්ට් ද සිල්වා පවුලේ ඥාතීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Last modified on බ්‍රහස්පතින්දා, 20 ජනවාරි 2022 14:41
යුගදනවි බලාගාරය නඩුව පෙබරවාරි 3ට කල් යයි ශ්‍රී ලාංකික සෞඛ්‍ය වෘත්තිකයන්ට බ්‍රිතාන්‍යයේ රැකියා දොරටු විවර වේ

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025