හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රබ කරයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රබ කරයි

මාර් 19, 2025
නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයා දී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය හැට දෙනෙකු දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය
වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
 
මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව  ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමය වර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
 
පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ අලි ෂබ්රි මහතා අධිකරණය ඔහුගේ කරුණු දක්වමින් තම සේවා දායකයා අධිකරණය හමුවට පැමිණ සිටින්නේ  වරප්‍රසාද දිනා ගැනීමේ අපේක්ෂාවෙන් නොව ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අරමුණ යැයි සඳහන් කළා.
 
තිස් වසරක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමට තම සේවා දායකයා නායකත්වය දුන් බවත් එම නිසා ඔහු කොටි සංවිධානයේ ප්‍රබල ඉලක්කයක් බවට පත් වී තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති නීතීඥ වරයා එබැවින් ඔහුගේ ජීවිතයට  මේ අවස්ථාව වන විටත් ප්‍රබල තර්ජනයක් පවතින බව පෙන්වා දුන්නා. 
 
ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යයෙන් මෙන්ම යුරෝපා සංගමය රටවල් වල කොටි සංවිධානය ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක  වන අතර කොටි හිතවාදීන්ගේ බලපෑම් නිසා  තම සේවා දායකයා හා ඔහුගේ සහෝදරයින් යුධ අපරාධකරුවන් සේ සලකා ඔවුන්ට කැනඩාව තුළට ඇතුළුවීම වළක්වාලමින් එරට රජය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බවත්  ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
 
විශේෂයෙන්ම ඉන්දියාව කොටි සංවිධානය තහනම් කිරීමේ නිවේදනය තුළ " 2009 වසරේ යුද්ධයෙන් පරාජයට පත් වුවත් කොටි සංවිධානය ඊලාම් සංකල්පය අතහැර නොමැති බවත් ඔවුන් ඒ වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන බව" දක්වා තිබුණේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම කරුණ මත ඉන්දියාව තුළ කොටි සංවිධානය තහනම් කරනු ලැබූ බවත්  පෙන්වා දුන්නා.
 
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කළ විමසීමකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ආරක්ෂාව අඩු කිරීමට පෙර තම සේවා දායකයාට නිලධාරීන් 203 දෙනෙකුගේ ආරක්ෂාව සපයා දී තිබූ අතර  එම ආරක්ෂාව ඉකුත් ඔක්තෝබර මස 31 වන දා  නිලධාරින්  60 දෙනෙකු දක්වා අඩු කිරීමට කටයුතු කෙරුණු බවයි.
 
දැනට සපයා දී තිබෙන නිලධාරීන් 60 දෙනා පොලිස් නිලධාරින් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ වරයා සේවා මුර අනුව කටයුතු කිරීමේදී එක් අවස්ථාවක යෙදවනු ලබන්නේ නිලධාරීන් හය දෙනෙකු හෝ හත් දෙනෙකු පමණක් බවත් අනාවරණය කළා.
 
මෑතකදී ජන හමුවකට එක්වූ වත්මන් ජනාධිපතිවරයා තම සේවා දායකයාගේ ආරක්ෂාව හැට දෙනෙකු දක්වා අඩු කර තිබෙන බවත් වැඩිපුර කෙඳිරි ගැහුවොත් එය ඉවත් කිරීමට කටයුතු කරන බවට අනතුරු අඟවා තිබුණේ යැයි සිහිපත් කළ ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා ආරක්ෂාව සම්බන්ධයෙන් එවැනි තීන්දු ගැනීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් සඳහන් කළා. 
 
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රභූ පුද්ගලයින්ට ලබා දෙන වරප්‍රසාද පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු චිත්‍රසිරි කමිටුව විසින් තම සේවාදායකයාගේ නිරීක්ෂණ කැඳවීමට කටයුතු කලද එම කමිටුව ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා කමිටුවක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා
 
තම සේවා දායකයාගේ ආරක්ෂාව අඩු කිරීමට ප්‍රථම ඔහුගේ ආරක්ෂක ප්‍රධානීන්ගේ නිරීක්ෂණ පිළිබඳව රජය විසින් විමසීමක් සිදු නොකළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා විධිමත් ආරක්ෂක ඇගයීමකින් තොරව අත්තනෝමතික ලෙස සිය සේවා දායකයාගේ ආරක්ෂාව අවම කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් අවධාරණය කළා.
 
පුද්ගල ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවත් ඉකුත්දා ඝාතනය කරනු පාතල කල්ලි නායක  ගනේ මුල්ල සංජීවට පවා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සපයා දී   තිබූ බව සඳහන් කල ජනාධිපති නීතිඥවරයා නීත්‍යානුකූල රජයට එරෙහිව දෙවතාවක් කැරළි ගැසූ රෝහණ විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයින්ට පවා දශක තුනකට අධික කාලයක් රජය විසින් ආරක්ෂාව සපයා දී තිබූ බවත් පෙන්වා දුන්නා. 
 
පාස්කු ප්‍රහාරය මෙන්ම ආර්ථික අර්බුදය පිළිබඳවද කලින් තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීම නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇති වූ බවත් යමක් සිදුවීමෙන් පසුව ඊට අදාළ හේතු සොයා බැලීම සඳහා මරණ පරීක්ෂණ පැවැත්වීම කිසිසේත්ම වැඩදායක ක්‍රියාවක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.
 
එවැනි පසුබිමක් තුළ කිසිදු විධිමත් ආරක්ෂක තක්සේරුවක් හා ඇගයීමකින් තොරව සිය සේවා දායකයාගේ ආරක්ෂාව අවම කිරීමට බලධාරීන් ගනු ලැබූ තීරණය තුළින් සිය සේවා දායකයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්  ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
 
ඉන් අනතුරුව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය ගනු ලැබුවේ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව ඇගයීම් සිදු කිරීමේ විශේෂඥ කමිටුවක් විසින් බව සඳහන් කළා.
 
එම විශේෂඥ කමිටුව ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා, ඇමති ආරක්ෂක අංශයේ ප්‍රධානියා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ගෙන් සමන්විත වන අතර එම කමිටුව 2015 වසරේ සිට  අඛන්ඩව ක්‍රියාත්මක වූ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නා.
 
2020 වසරේ පෙත්සම්කරු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වූ අවස්ථාවේදී ද ඔහුගේ ආරක්ෂක ඇගයීම් සිදු කළේ මෙම කමිටුව විසින් බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා එම කමිටුව වරින් වර සියලුම හිටපු ජනාධිපතිවරුන්ගේ හා ප්‍රභූවරුන්ගේ ආරක්ෂක ඇගයීම් සිදුකොට ආරක්‍ෂාව සම්බන්ධයෙන් නිරීක්‍ෂණ ඉදිරිපත්  කරන බවත් පෙන්වා දුන්නා. 
 
ඒ තුළින් කිසිදු පුද්ගලයෙකට විශේෂත්වයක් දැක්වීමට කටයුතු නොකෙරෙන අතර එක් පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්  රෝහන්ත අබේසුරිය මහතා මේ තුළින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී නොමැති බවත් සඳහන් කර සිටියා. 
 
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන බව තින්දු කළා.
 
 

Latest News

Cfe9c50cbaaab1bf3cf4cc1ab6379d04 Generic

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙයි

අප්‍රේ 08, 2025

23e3f038dd01f81919bf8670a6cb25b5 Generic

RCB පිටියේ වැඩ පෙන්වයි

අප්‍රේ 08, 2025

853bdeb279b374e842422313f4e63b87 Generic

ඉන්දුනීසියාව සෙළවෙයි

අප්‍රේ 08, 2025

1dfaef7c3a401716a6f895c0a1334050 Generic

ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි

අප්‍රේ 08, 2025

96920214ec0a4fd2674b6e808afb5fec Generic

රාමසාන් උත්සවයට ජනපතිගෙන් සුභාසිංසන

මාර් 31, 2025

57145b6072c90b7d688828b7a5003de4 Generic

වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

මාර් 30, 2025

265c0935061b7284447107ff85238eb6 Generic

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදයක්

මාර් 28, 2025

1e92c603ad3eed269b2d90456cda3d3c Generic

ප්‍රදේශ රැසකට ලොකු වැස්සක්

මාර් 28, 2025