"ස්ටර්ජන්"ගේ මියයාම නිසා පාලම නවතියි

නොවැ 24, 2018

    පරිසර හිතකාමී සංචාරක කලාපයක ඉදිකිරීම් හේතුවෙන් ස්ටර්ජන් නමැති දුර්ලභ මසුන් 6,000ක් පමණ මියගොස් ඇතැයි, චීනයේ හබෙයි, පළාතෙන් වාර්තා වෙයි.

    යැන්සි ගංගාව හරහා ඉදිකෙරෙන පාලමක් ආසන්නයේ මෙම මසුන්ගේ අභිජනන කලාපයක් පිහිටා තිබීම හේතුවෙන් මෙම ගැටලුව පැන නැගී ඇති බවයි, වාර්තා වන්නේ. පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් සිදුවන කම්පන සහ අධික ශබ්දයත්, ජල මූලාශ්‍රයේ සිදුවන විජර්යාසයත් මසුන් මිය යාම කෙරෙහි සෘජුවම බලපා ඇති බවටයි, චීන පුවත් සේවාවක් සඳහන් කළේ. කෙසේ වෙතත්, මෙම කලාපයේ ඉදිකිරීම් සියල්ල අත්හිටුවා ඇති අතර, මේ සම්බන්ධ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

    මෙම චීන ස්ටර්ජන් මත්ස්‍ය විශේෂය වසර මිලියන 140ක් තරම් ඈත අතීතයක සිට පැවතෙන බවත්, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මොවුන් වඳවීමේ තර්ජනයකට මුහුණ පා සිටින බවත්, වාර්තා වෙයි. අවුරුදු 60ක පමණ ආයුකාලයක් හිමි මෙම මත්ස්‍යයින් මීටර 5ක් පමණ දිගින් යුක්ත වෙයි. මෙම මත්ස්‍යයින් ජීවිත කාලයටම කිහිප වතාවක් පමණක් බිත්තර දැමීම විශේෂත්වයක්.

    Last modified on සෙනසුරාදා, 24 නොවැම්බර් 2018 10:45

    Latest News