අද මධ්‍යම රාත්‍රියට ආසන්නව අර්ධ චන්ද්‍රග්‍රහණයක්

ජූලි 16, 2019

    අද මධ්‍යම රාත්‍රියට ආසන්නව අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව, අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

    මේ වසර තුළ සිදුවන අවසන් චන්ද්‍රග්‍රහණය මෙයයි. භ්‍රමණ සහ පරිභ්‍රමණ අතරතුර සූර්යයා හා චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණිමෙන් පෘථිවියේ සෙවණැල්ල සඳමත පතිතවීම චන්ද්‍රග්‍රහණයයි. චන්ද්‍රයා පෘථිවි සෙවණැල්ලට සම්පූර්ණයෙන් ම ඇතුළු නොවී අර්ධ වශයෙන් එම ඡායාව හරහා ගමන් කිරීම අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස සැලකේ. අද රාත්‍රී අර්ධ චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ, ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.13ටයි.

    එහෙත්, සඳ මතුපිට ඡායාව වඩාත් තියුණු ලෙස විද්‍යමාන වන්නේ, හෙට අලුයම 1.31ත් 4.29ත් අතර කාල සීමාවේදී. උදෑසන 5.47වනවිට අර්ධ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් අවසන්වේ. විද්‍යාඥයින් පවසන්නේ හෙට අලුයම 3.00 පමණ වනවිට සඳහි මතුපිට වර්ග ඵලයෙන් 65%ක් පමණ රතු දුඹුරු වර්ණයෙන් පැහැදිලිව නිරීක්‍ෂණය වනු ඇති බවයි. චන්ද්‍රග්‍රහණය නිරීක්‍ෂණය කළ හැකි වන්නේ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අමෙරිකාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ඇතුළත් කලාපීය රටවලට පමණි. චන්ද්‍රග්‍රහණය සිදුවන අවස්ථාවේ සඳට ආසන්නව මේ දිනවල සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහයින් ද පැහැදිලි ලෙස දැකබලා ගතහැකි බව, තාරකා විද්‍යාඥයින් පවසයි.

    Latest News