ෂුරා කවුන්සිලයේ කථානායකවරයා විසින් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් වෙත උණුසුම් පිළිගැනීමක් පිරිනැමූ අතර එවකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් කරන ලද ආරාධනයකට අනුව ෂුරා කවුන්සිලයේ නියෝජිත පිරිසක් 2019 දී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ඵලදායී සංචාරය පිළිබඳව මෙහිදී සිහිපත් කළේය.
දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විභව ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව ආචාර්ය අබ්දුල්ලා අල්-ෂෙයික් විසින් අවධාරණය කළ අතර නව පාර්ලිමේන්තුව පිහිටුවන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසට සෞදි අරාබියේ සංචාරය කරන ලෙසද ආරාධනා කළේය.
ශුරා කවුන්සිලයේ කථානායකවරයා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කරන ලද ආරාධනයට කෘතඥතාව පළ කළ තානාපති අමීර් අජ්වාඩ් දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරනය කළ අතර එවැනි සංචාර මඟින් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නංවන බව පෙන්වා දුන්නේය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය මේ වසරේ සමරන අවස්ථාවක ඉදිරි වසරවලදී දෙරට අතර මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම පෙන්වා දුන් තානාපති අමීර් අජ්වාඩ් 2002 දී ප්‍රථම ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම සහ 2003 දී ඔහු සෞදි අරාබියේ සිටි කාලය තුළ 13 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ප්‍රථම වරට සෞදි අරාබියේ සංචාරය කිරීම ද සිහිපත් කළේය.
ආචාර්ය අබ්දුල්ලා අල්-ෂෙයික් රාජ්‍ය සේවයේ කීර්තිමත් වෘත්තිකයෙක් වන අතර ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ කවුන්සිලය, ඉස්ලාමීය කටයුතු සඳහා උත්තරීතර කවුන්සිලය, අරාබි අධිකරණ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය ඇතුළු විවිධ කවුන්සිලවල ප්‍රධාන භූමිකාවන් ඉටු කරයි. මීට පෙර ඔහු සෞදි අරාබියේ අධිකරණ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.
තානාපතිවරයා සමඟ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දූත මණ්ඩල ප්‍රධානි/අමාත්‍ය මොහොමඩ් අනාස් මහතා ද සහභාගී විය.