ස්පාඤ්ඤ රජුට ජනතාව පහර දෙයි

නොවැ 04, 2024

    ස්පාඤ්ඤයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශ නිරීක්ෂණයට ගිය එරට රජුට සහ රැජිනට කෝපයට පත් ජනතාව මඩ ප්‍රහාර එල්ල කොට තිබෙනවා.

    එම ජනතාවගෙන් ඔවුන් බේරා ගැනීමට පොලීසිය කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ස්පාඤ්ඤයේ පිලිපේ රජු සහ ලෙටීසියා රැජින ගංවතුර අවදානමට ලක් වැලෙන්සියා ප්‍රදේශයේ පයිපෝටා නගරය හරහා ගමන් කරමින් සිටියදී ජනතාව විරෝධය පළ කර ඇති අතර, දැඩි වාග් ප්‍රහාර ද එල්ල කොට තිබෙනවා. 

    පීඩාවට පත් ජනතාව ප්‍රකාශ කළේ, ගංවතුර අවදානමට පෙර බලධාරීන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් නොකළ බවයි.  බලධාරීන්ගේ අවධාන‍ය යොමු නොවීම හේතුවෙන් ජීවිත හානි රැසක් සිදුවූ බවටද ඔවුන් චෝදනා කරනවා.

    රජු තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ, විරෝධතාකරුවන්ගේ කෝපය සහ කලකිරීම තමන්ට වටහා ගත හැකි බවයි.  පසුගිය දින කිහිපය පුරා ස්පාඤ්ඤයට බලපෑ ජලගැල්ම්වලින් 219 දෙනෙකු මියගොස් තිබෙනවා.   

    දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ සිදුවූ දරුණුතම ගංවතුර තත්වය මෙය ලෙසයි සැලකෙන්නේ.

    Latest News