සාමයක් පේන තෙක්මානයක නොමැති යුද්ධයට වසරක්

ඔක් 07, 2024

    2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් වසරක් ගත වන අද දිනය වන විට යුධ ගැටුම් කලාපය පුරා පැතිර යමින් පවතී.

    2023 ඔක්තෝබර් 7 වනදා හමාස් තුවක්කුකරුවන් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන් ජීවිත හානි 1200ක් පමණ සිදු වූ අතර 250කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ලක් වූහ.

    2024 සැප්තැම්බර් මස අවසන් වන විට යුද්ධය හේතුවෙන් 43,000 කට අධික පිරිසකට ජීවිත අහිමි වී තිබේ. පලස්තීන වැසියන් 41,400 කට වැඩි පිරිසක්, ඊශ්‍රායලයේ 1,700 කට වැඩි පිරිසක් මෙන්ම දෙරටේ මාධ්‍යවේදීන්, සහන සේවකයින් ඇතුළු විශාල පිරිසක් යුද්ධයේ ගොදුරු බවට පත්වෙමින් තිබේ.

    පසුගිය අප්‍රේල් 01 වනදා සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානීන් 7 දෙනෙක් සහ සිරියානු වැසියන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වීමත් සමග ප්‍රහාරයේ චෝදනාව ඊශ්‍රායලයට එල්ල වූ අතර ඉරානයෙන් ඊට ප්‍රති ප්‍රහාර එල්ල විය. පුලුල් යුද්ධයක බරපතලම තර්ජනය ඉරානය සහ ඊශ්‍රායලය අතර සෘජු ගැටුමයි.

    යේමනයේ හවුතිවරු ඉරානයේ ද සහාය ඇතිව ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය දැක්වීම සඳහා නැව් ගමනාගමනයට ප්‍රහාර දියත් කළ අතර ඊශ්‍රායලය එහිදීත් ගුවන් ප්‍රහාරවලින් ප්‍රති උත්තර සැපයීය.

    මේ අතර පසුගිය ජූලි 31 වනදා ඉරාන නව ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ගේ පදවිප්‍රාප්ත උත්සවයට සහභාගි වීමෙන් පසු ටෙහෙරානයේදී ඉස්මයිල් හනියේ ඝාතනයට ලක් වූයේ ඊශ්‍රායල් මිසයිල ප්‍රහාරයකිනි.

    හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා අවසන් ගමන් යවමින් පසුගිය සැප්තැම්බර් 27 වනදා රාත්‍රියේ ලෙබනනයේ බේරූට් නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් පසු හිස්බුල්ලා සටන්කාමීන් හා ඊශ්‍රායල් හමුදා අතර ගැටුම් උත්සන්න වෙමින් පවතී.

    මිලියන 6 කට අධික පලස්තීන සරණාගත ජනතාවට ජලය, ආහාර, විදුලිය, ඉන්ධන සහ ඖෂධ වැනි මූලික මිනිස් අවශ්‍යතා අහිමි වී ඇති බැවින් මෙම ගැටුම දෙස ජාතිවාදී හෝ ආගම්වාදී කෝණයකින් නොබලා මානුශීය දෑසකින් බැලිය යුතු කාලය එළඹ තිබෙනවා.

     

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2024 12:09

    Latest News