සිව් වසරකින් ලොස් ඇන්ජලීස් වලදී හමුවෙමු

අගෝ 12, 2024

    සිව් වසරකට වරක් පැවැත්වෙන විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ 33 වැනි අදියර ඊයේ අති උත්කර්ශවත් සමාප්ති උලෙළෙකින් නිමාවට පත් වුණා.

    තවත් සිව් වසරකින් අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරදී මීළඟ ඔලිම්පික් උලෙ‍ළ පැවැත්වීමට නියමිතයි.

    මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වුණේ,  පසුගිය මස 26 වැනිදායි. දින 17 ක් පුරා පැවති ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවය ප්‍රංශයේ පැරිස් නුවර ස්ටේට් ඩි ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේදී ‍‍ඊයේ පැවැත්වුණා.

    මෙවර රටවල් 206 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,714 දෙනෙකු ක්‍රීඩා උලෙළ නියෝජනය කළා. ඒ ක්‍රීඩා 32 ක තරග ඉසව් 329 ක් සඳහායි. අඛණ්ඩව සිව් වැනි වරටත් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ පදක්කම් සටහනේ පෙරමුණ ගනිමින් අමෙරිකාව පදක්කම් 126 ක්  හිමි කර ගත්තා. ඒ, රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 44 ක් සහ ලෝකඩ පදක්කම් 42 ක් සමගින්. පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය හිමි කර ගත් චීනයට රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 24 ක් සමග පදක්කම් 91 ක් හිමි වුණා.

    සමස්ත පදක්කම් සටහනේ තෙවැනි ස්ථානය ජපානයටත්, සිව්වැනි ස්ථානය ඔස්ට්‍රේලියාවටත් පස් වැනි ස්ථානයත් සත්කාරක ප්‍රංශයටත් හිමි වුණා. රටවල් 206 අතරින් රටවල් 62 ක් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් හිමි කර ගෙන තිබුණා. මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ඔලිම්පික් ක්‍රීඩා උලෙ‍ළ නියෝජනය ක‍ළා. ඊයේ ස්ටේට් ඩි ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ පැවති සමාප්ති උත්සවය, විශේෂාංග රැසකින් වර්ණවත් වුණා.

    මෙහි විශේෂත්වයක් වුණේ, ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා ස්වෙච්ඡාවෙන් ‍සේවයේ යෙදී සිටි සියලුදෙනා සංවිධායක මණ්ඩලයේ ඇගයීමට ලක් වීමයි. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සංවිධායක කමිටු සභාපතිවරයා, ඔලිම්පික් ධඡය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් වෙත ලබා දුන්නා. ඔහු එම ධඡය 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සංවිධායක කමිටුවේ සභාපතිවරයා වෙත ලබාදීම සිදු කළා.

    Latest News