අමීර් අජ්වාඩ් මහතා සෞදි අරාබියේ විදේශ වෙළඳාම පිළිබඳ (GAFT) අධිපතිවරයා සමඟ ඵලදායි සාකච්ඡාවක

අගෝ 12, 2024

    2024 අගෝස්තු මස 07 වන දින, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සෞදි අරාබියේ විදේශ වෙළඳාම පිළිබඳ පොදු අධිකාරියේ (GAFT) අධිපතිවරයා වන මොහොමඩ් අල් අබ්දුල් ජබාර් මහතා රියාද් හි පිහිටි GAFT මූලස්ථානයේදී හමුවිය.

    තානාපති අමීර් අජ්වාඩ් මහතාව සෞදි අරාබිය වෙත සාදරයෙන් පිළිගනිමින්, GAFT අධිපති මොහොමඩ් අල් අබ්දුල් ජබාර් මහතා විසින් දෙරට අතර ප්‍රතිලාභ වැඩිවන ආකාරයේ විභව ක්ෂේත්‍රයන් තුළ ද්විපාර්ශවික සබඳතා වැඩිදියුණු කරගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා GAFT හි සහයෝගය ලබාදෙන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවත් අරාබි ජාතීන් අතරත් පැවැති ඉපැරණි ජාත්‍යන්තර වෙළඳ සබඳතා සිහිපත් කරමින් තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් දෙරටේ සහයෝගිතාවය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වඩාත්ම වාසිදායක ක්ෂේත්‍රයන් කෙරෙහි මෙහිදී අවධානය යොමුකළ අතර වෙළඳාම හා ආයෝජනය සඳහා වූ සුවිශේෂ ක්ෂේත්‍රයන් වන ආහාර, කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය, නිෂ්පාදනය, ආගන්තුක සත්කාර, දේපළ වෙළදාම්, ඉදිකිරීම් ආදී ක්ෂේත්‍රයන් තුළ සහයෝගිතාවය ඇති කරගැනීමටද යෝජනා කරන ලදී.

    සෞදි අරාබියේ 2030 දැක්ම සාක්ෂාත් කරගැනීමට සෞදි අරාබිය සමඟ හවුල්කරුවකු වීමට ශ්‍රී ලංකාව සුදානම් බවද මෙහිදී තානාපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද අතර සෞදි අරාබියේ විදේශ වෙළදාම පිළිබඳ පොදු අධිකාරියේ වෙළඳ නියෝජිතයන් පිරිසකට මුලික මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද මෙහිදී ආරාධනා කළේය.

    ජාත්‍යන්තර සබඳතා පිළිබඳව නියෝජ්‍ය අධිපති අබ්දුල්අසීස් අල්සක්‍රාන් මහතා සහ GAFT හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම පළමු ලේකම් (වානිජ) ටෂ්මා විතානවසම් මහත්මිය ද මෙම හමුවට සහභාගි වූහ.

    3

    1

    Latest News