සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා සෞදි වාණිජ මණ්ඩල සම්මේලනය සමඟ ඵලදායී හමුවක්

අගෝ 01, 2024

    සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා 2024 ජූලි මස 29 වැනි දින රියාද්හි පිහිටි සෞදි වාණිජ මණ්ඩල සම්මේලන (FSC) මූලස්ථානයේදී එහි උප සභාපති ෆයෙස් අල්-හර්බි හමුවිය.

    තානාපති අමීර් අජ්වාඩ් පිළිගැනීමේදී සම්මේලනයේ උප සභාපතිවරයා විසින් සංසදයක් පිහිටුවීම මගින් දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. සෞදි දැක්ම 2030 සාක්ෂාත් කර ගැනීම සඳහා සෞදි වාණිජ මණ්ඩල සම්මේලනය විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳව ද ඔහු විස්තර කළේය.


    ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ඓතිහාසික සබඳතා සිහිපත් කරමින්, ප්‍රධාන වශයෙන් වෙළෙඳ හා වාණිජ්‍යය මත පදනම් වූ ජයග්‍රාහී ප්‍රතිලාභ සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල පවතින විභව ව්‍යාපාරික අවස්ථා ප්‍රයෝජනයට ගන්නා ලෙස සෞදි පෞද්ගලික අංශයට තානාපති අමීර් අජ්වාඩ් ආරාධනා කළේය.

    දෙරටේම පෞද්ගලික අංශයන් සම්බන්ධ කිරීම සඳහා සංසදයක් පිහිටුවීමේ අදහස තානාපතිවරයා පිළිගත් අතර දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර ව්‍යාපාරික කවුන්සිලයක් පිහිටුවීමටද යෝජනා කළේය.

    2024 වර්ෂයේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් එය සැමරීම පිළිබඳවද තානාපතිවරයා අවධාරණය කළ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා - සෞදි අරාබි ව්‍යාපාරික සමුළුවක් රියාද් නුවරදී ශ්‍රී ලංකාවේ අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට යෝජනා කළේය.

    තවද තානාපතිවරයා විසින් සෞදි වාණිජ මණ්ඩල සම්මේලනයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසකට කොළඹ ව්‍යාපාරික සමුඑවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද ආරාධනා කළේය.


    මෙම හමුවේදී සාකච්ඡා කරන ලද යෝජනා අනුගමනය කිරීමටත්, පෞද්ගලික අංශයේ සහයෝගිතාව සඳහා දෙරට තුළ දිග හැරෙන අවස්ථා පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමටත් දෙපාර්ශවය එකඟ විය.


    සම්මේලනයේ ව්‍යාපාරික කවුන්සිල කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ, අබ්දුල් අල් කහටානි සහ සම්මේලනයේ ව්‍යාපාර කවුන්සිල කටයුතු පිළිබඳ විශේෂඥ ෆහඩ් අල් ෂම්මාරි මෙන්ම තානාපති කාර්යාලයට අනුයුක්ත වාණිජ කටයුතු පිළිබඳ දෙවන ලේකම් ටෂ්මා විතානවසම් යන මහත්ම මහත්මීන් ද සාකච්ඡාවට ඉදිරිපත් වූහ.

    16

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 17:05

    Latest News