ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට කළ කාර්යයන් අසාමාන්‍යයයි – ඕස්ට්‍රේලියා හිටපු අගමැති

ජූලි 21, 2024

    ආර්ථික අර්බුදයෙන් පසු ගෙවී ගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව නැවත ස්ථාවරභාවයක් ගෙන ඒම සඳහා කරනු ලබන කාර්යය සැබවින්ම අසාමාන්‍යය බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පැවසීය.

    ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්, තානාපතිවරුන් අතර සුහද හමුවක් පසුගියදා(19) කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවති අවස්ථාවේදීය. ෆෙයාර්ෆීල්ඩ් ලෝයර්ස්හි සභාපති නීතිඥ සුසන්ත කටුගම්පල මහතා ඇතුළු පිරිසක් මෙම හමුව සංවිධානය කර තිබිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා,

    “ශ්‍රී ලංකාවට පැමිණී අවස්ථාවේ මා පිළිගත් ආකාරය ගැන ඉතාමත් සතුටුයි. ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මාව දිරි ගන්වනු ලැබූ නීතිඥ සුසන්ත කටු‍ගම්පොළ මහතා ඇතුළු ෆෙයාර්ෆීල්ඩ් ලෝයර්ස්ලාට මගේ සුබ පැතුම් එක් කරනවා.

    මම අතීතයේ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණි අතර එම කාලය තුළ බොහෝ දේ වෙනස් වී තිබෙනවා. මම ශ්‍රී ලංකාවට ආපු පළවෙනි වතාවේ අද මේ ඉන්න හෝටලය මෙතන තිබුණේ නැහැ. මම නවාතැන් ගෙන සිටින හෝටලය තිබුනේ නැහැ. අද පැමිණ බලන විට ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා.

    කොළඹ නරගය දියුණු, සිත් ඇදගන්නා සුළු නගරයක්. ශ්‍රී ලංකාවට පැමිණෙන ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන් බලාපොරොත්තු වන, ඔවුන් සොයා ගන්නා දේ ගැන සැබවින්ම පුදුමයට පත් වනු ඇත. නගරයේ විවිධත්වය සිත් ඇදගන්නා සුළුයි. අවන්හල්, ආකාර්ෂණීය ස්ථාන, සංස්කෘතික ක්‍රියාකාරකම් ඉතා දියුණුයි. එබැවින් මිනිසුන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට සහ ඔබ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ ඇත්නම් නිසැකවම ගොස් ලෝක මට්ටමේ සංචාරක නිකේතන සහ ආකර්ෂණීය ස්ථාන මොනවාද යන්න ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් අත්විඳින ලෙස මම ඔබව දිරිමත් කරනවා.

    මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවට ‘බේ’ පන්තියේ යාත්‍රාවක් ප්‍රධානය කිරීමෙන් පසු අපි ත්‍රිකුණාමලය වරායට ගියා. එහිදී ඕස්ට්‍රේලියානු තානාපතිවරයා වූ අද්මිරාල් තුමාද අද රාත්‍රියේ අප සමඟ මෙහි සිටිනවා. නාවික හමුදා නිලධාරීන් ත්‍රිකුණාමල වරාය පිළිබඳව සිටියේ මහත් ආඩම්භරයෙන්. නෙල්සන් සාමිවරයා ප්‍රකාශ කරලා තියෙනවා ත්‍රිකුණාමලය ලෝකයේ හොඳම වරාය කියලා. ත්‍රිකුණාමලය අතිශයින් කැපී පෙනෙන ස්ථානයක්. ඉදිරි දින කිහිපය තුළ මගේ පවුලේ අය සමඟ ශ්‍රී ලංකාවේ විවිධත්වය, සහයෝගිතාවය අත්විදීමට මම බලාපොරොත්තු වෙනවා.

    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇත්තේ ඉතා අපූරු පුද්ගල සම්බන්ධතාවයකි. එය උණුසුම් සහ සැබෑ සබදතාවයක් වන අතර අප සියල්ලෝම ආදරය කරන ක්‍රිකට්, ආහාර යනාදී මේ සියල්ල හරහා එය බැඳී පවතිනවා. ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරාවට, එනම් වසර 40ක පමණ කාලයක් පුරාවටම ජාතියකට මුහුණ දීමට සිදු විය හැකි ඉතාමත්ම දුෂ්කර කාලයකට මුහුණ දුන්නා. ශ්‍රී ලංකාවේ ජනතාව සහ අද රාත්‍රියේ මෙහි පැමිණ සිටින මගේ හිතවත් ශ්‍රී ලංකික මිත්‍රයන් ගැන සිතන විට ශ්‍රී ලාංකීය ජනතාවගේ දරා ගැනීමේ හැකියාව ගැන මට සිතෙනවා. ඔබ වෙතට කවරාකාරයේ ගැටළුවක් පැමිණියත්, ඔබ ඔබේ ජීවිතයට ආදරය කරනවා. ඔබ ඔබේ පවුල්වලට ආදරය කරනවා. ඔබ ඔබේ ප්‍රජාවට ආදරය කරනවා. ඔබ ඔබේ රටට ආදරය කරනවා. ඔබ එයත් සමඟ සිටිමින් එකිනෙකාට උදව් උපකාර කර ගනිමින්, එයින් මිදීමට උත්සාහ කරන අතර එය මට ශ්‍රී ලංකාව පිළිබඳව බොහෝ ශුභවාදී හැඟීමක් ලබා දෙනවා.

    අපි මෙම විශිෂ්ට හෝටලයේ මෙම පාලම මත සිට මුහුද දෙස බලා සිටින විට, එය ලෝකයේ මෙම කොටසෙහි ඇති සුවිශේෂී ගොඩනැගිල්ලක්. මෙය පසුගිය දශකය තුළ භූමියෙන් පිටතට ගොඩනඟා ඇති ආකාරයෙන් මට සිතෙන්නේ එය ශ්‍රී ලංකාවේ දරාගැනීමේ හැකියාව පෙන්වන ස්මාරකයක් බවයි. මට මතකයි මම මුලින්ම මෙහෙට පැමිණි වෙලාවේ එතන පාර අයිනේ තිබුනේ දැන්වීම් ඵලකයක් විතරයි.

    ඔබ බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන් කාල පරිච්ඡේදයක් තුළ මෙවැනි දෙයක් ගොඩනඟා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් බවයි මම හිතන්නේ. මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි මාස කිහිපය තුළ ඔබට ඉතා වැදගත් තේරීමක් කිරීමට ඇති අතර, ඔබ එම තීරණය ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවන් මැදිහත් වන්නේ නැහැ. ඔබ ශ්‍රේෂ්ඨ සහ ජවසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක් වන අතර, ඒ ගැන ඔබ ඉමහත් ආඩම්බර විය යුතුය. එහෙත් ආර්ථික අර්බුදයෙන් පසු ගෙවී ගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව නැවත ස්ථාවරභාවයක් ගෙන ඒම සඳහා කරනු ලබන කාර්යය සැබවින්ම අසාමාන්‍ය ය. එය ඉතාම ධෛර්ය සම්පන්නයි. එයට ශ්‍රී ලාංකේය ජනතාව විශාල කැපකිරීම් කළ අතර යම් ආකාරයකින් අකමැත්තෙන් එම කාර්යාලයට පැමිණි ඔබේ ජනාධිපතිවරයාගේ නිර්භීත තීරණ කිහිපයක් ඇතුළත් විය. නමුත් ඔහු මීට පෙර බොහෝ වාරයක් කර ඇති ආකාරයටම පැමිණ තම රට වෙනුවෙන් නැගී සිටි මිනිසා විය. ජනාධිපතිතුමා සහ මම පසුගිය දශකය තුළ හෝ ඊට වැඩි කාලයක දී අවස්ථා ගණනාවකදී මුණගැසී ඇති අතර මෙවන් දුෂ්කර කාල පරිච්ජේදයකදී එතුමාගේ කාලය තුළ එතුමාගේ නායකත්වයට සහ ශ්‍රී ලංකාව ඔබට ඉදිරියට යා හැකි තැනකට ගෙන ඒම පිළිබඳව මම එතුමාට ගෞරවය පුද කරනවා. නමුත් ඔබ එය කරන්නේ කෙසේද යන්න ඔබට භාරයි. ඉදිරි මාස කිහිපය තුළ ඔබ එම තීරණය ගනු ඇත. නමුත් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ සැලැස්මට අනුකූලව සිටින ලෙසත්, ඔබ හොඳින් දන්නා එම කැපවීම සහ දරාගැනීමේ හැකියාව මත තවදුරටත් රැඳී සිටින ලෙසත්ය.

    ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ව්‍යවසායකත්වය, ශක්තිය සහ ප්‍රබෝධය පිළිබඳව මා තුළ දැඩි විශ්වාසයක් පවතින අතර, එය නගරය පුරා සහ රට පුරා දකින්න පුළුවන්. ඔබට සාක්ෂාත් කර ගැනීමට හැකි වූ දේ සමඟ ඔබට තව තවත් දේවල් සාක්ෂාත් කර ගැනීමට ඉදිරියට යාමට හැකි වනු ඇත. නමුත් ඒ සඳහා ඔබට ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි. ඔබට ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි. ඔබ සාර්ථක වනු දැකීමට සහ ඔබ දැඩිසේ සටන් කළ ස්වෛරීභාවය භුක්ති විඳීමට සැමවිටම කැමති ඔස්ට්‍රේලියාව වැනි ඔබේ මිතුරන් සහ හවුල්කරුවන් සමඟ ඔබ සමීපව සිටිය යුතුයි.

    ඔබ මට ලබා දුන් පිළිගැනීමට මම ඔබට ස්තූතිවන්ත වෙමි. ඔබ සැමගේ අනාගතයට මම සුබ පතමි. විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුළ මා මෙහි පැමිණ ගත කල ගුණාත්මක කාලය වෙනුවෙන් එසේ පැමිණීමට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සුසන්ත කටුගම්පල මහතා ඇතුළු පිරිසට ස්තූතිවන්ත වෙනවා. මා ශ්‍රී ලංකාවෙන් පිටවන්නේ ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින දේ සහ ශ්‍රී ලංකාව නැවත නැඟිටින බවට සහ ශ්‍රී ලංකාවට සුවිසල් දේවල් රාශියක් සාක්ෂාත් කර ගැනීමට හැකි වන බවට සෙසු ලෝකය විශ්වාස කළ යුත්තේ මන්ද යන්න පිළිබඳ මා හමුවන සියල්ලන්ට ප්‍රබල පණිවිඩයක් ද සමඟිනි.”

    නීතිඥ සුසන්ත කටුගම්පල මහතා,


    “වසර 34 කට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙමින් හා වසර 25ක කාලයක් නීතිවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා. අවුරුදු ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට උදව් කරමින් අපේ උපරිම සහයෝගය ලබා දෙමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණත් මගේ හදවත ශ්‍රී ලංකාව සමඟයි. මට බොහෝ නායකයින් මුණගැසිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ ජාත්‍යන්තරව විවිධ නායකයින් මුණ ගැහිලා තියෙනවා. ඒ අතර ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා සුවිශේෂි අයෙක්. ඔහු 2018 සිට 2022 දක්වා අග්‍රාමාත්‍යවරයා වූ අතර ඔහු ඕස්ට්‍රේලියාවට, එහි ජනතාව සහ ආර්ථිකය වෙනුවෙන් පුදුමාකාර සේවයක් කරමින් ආර්ථිකය ගොඩනැංවූ අයෙක්. ඉතින් මම හිතුවා ඒ අත්දැකීම ශ්‍රී ලංකාව තුළ බෙදාගන්න ඕන දෙයක් කියලා.

    ඒ නිසා ශ්‍රී ලංකාව ගැන ආදරයක් ඇති නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වීම ගැන ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයකු හා මුදල් අමාත්‍යවරයකු වූ ස්කොට් මොරිසන් මහතාට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාව වැදගත් ස්ථානයක් බව ඔහුට හැඟුණු අතර ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව වැදගත් බවයි. එබැවින් ඔහු අද මෙහි සිටින අතර ස්ථාවර ශ්‍රී ලංකාවට සහාය වීමට ඔහු සිය පවුලේ අය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. ෆෙයාර්ෆීල්ඩ් නීතීඥයින් ලෙසත් වසර 25 අත්දැකීම් ඇති අය ලෙස ශ්‍රී ලංකාවට සහාය ලබා දීම අපේ අරමුණයි.”

    Latest News