බංගලාදේශය සන්සුන් කරන්න දින දෙකක රජයේ නිවාඩුවක්

ජූලි 21, 2024

    බංගලාදේශයේ පවතින තත්ත්වය හේතුවෙන් දින දෙකක රජයේ නිවාඩුවක් ලබා දීමට එරට රජය තීරණ කොට තිබෙනවා. ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලට මළ සිරුරු 27 ක් ඊයේ දින ලැබුණු බවත් සමස්ත මරණ සංඛ්‍යාව 133 දක්වා ඉහල ගොස් තිබෙනවා.

    අගමැතිනි ෂීක් හසීනාගේ රජය ඉරිදා සහ සඳුදා දින “රජයේ නිවාඩු” ලෙස ප්‍රකාශයට පත් කළ අතර හදිසි සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඩකා අගනුවර පාළු වීදිවල සොල්දාදුවන් මුර සංචාරයේ යෙදුණු අතර රජය විසින් සියලුම කාර්යාල සහ ආයතන දින දෙකක් වසා තබන ලෙස නියෝග කළා. පොලිස් නිලධාරීන් 300ක් පමණ තුවාල ලබා ඇතැයි එරට රජය පවසනවා.

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඝාතනය කර ඇති බව ද එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළා. විරෝධතා අවහිර කිරීම සඳහා රජය ඇඳිරි නීතිය පැනවීමට නියෝග කිරීමෙන් ටික වෙලාවකින් අනතුරුව ඊයේ දින සොල්දාදුවන් මුරපොලවල් පිහිටුවා එරට විදී හරහා මුර සංචාරයේ ද යෙදුනා. පසුව ඊයේ දහවල් කාලයේදී පැය දෙකක කාලයක් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය තීරණය කළා.

    ඒ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව බංග්ලාදේශයේ සංචාරක උපදේශනය තුන්වන මට්ටම දක්වා ඉහළ නංවා ඇති අතර, සිවිල් නොසන්සුන්තාව හේතුවෙන් රට වෙත ගමන් කිරීම පිළිබඳව අනතුරු අඟවා තිබෙනවා. නේපාල විදේශ අමාත්‍යාංශයේ මූලාශ්‍රයකට අනුව, පවතින නොසන්සුන්තාව හේතුවෙන් බංග්ලාදේශයේ අතරමං වූ නේපාල සිසුන් 800 ක් පමණ ආපසු සිය රට බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    බංග්ලාදේශයේ නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය දින තුන තුළ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර “ඩවුකි” දේශසීමා හරස් මාර්ගය හරහා ඉන්දියාවට ඇතුළු වූ ඉන්දීය, නේපාල සහ භූතානයේ සිසුන් ඇතුළු මුළු පුද්ගලයින් 953 දක්වා ඉහලගොස් තිබෙනවා. භූතානයේ අගමැති ශියරින් ටොබේ සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ විරෝධතාවට ගොදුරු වූ බංග්ලාදේශ සිසුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමට භූතානයේ රාජකීය රජය හැකි සෑම දෙයක්ම කරන බවයි.

    ඩකා හි පිහිටි එරට තානාපති කාර්යාලය සිසුන්ට සහයෝගය දැක්වීමට සහ නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට ක්‍රියා කරන අතරම ඔවුන්ගේ ඉක්මන් ආපසු පැමිණීම සහතික කිරීම සඳහා අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර රටපුරා ඇඳිරි නීතිය අද පස්වරු 3 දක්වා දීර්ඝ කර තිබෙනවා.

    Last modified on ඉරිදා, 21 ජූලි 2024 11:31

    Latest News