ශැංහයි රාජ්‍ය නායක කවුන්සිලයට චීන ජනපති එක්වෙයි

ජූලි 05, 2024

    ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යාධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසිය පැවැත්වේ.

    එම සමුළුව ඊයේ (04) කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණ.

    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කර ගත වූ වසර 23 ක් තුළ එහි සාමාජික රටවල් ගණන 10 ක් දක්වා වැඩි වී ඇති බවයි. මෙම ‘දැවැන්ත පවුල’ මගින් මහාද්වීප 3 කට අයත් රටවල් 26 ක් සම්බන්ධ කර ඇත.

    සීතල යුද චින්තනයෙන් එල්ල වන තර්ජන හමුවේ සහයෝගයෙන් යුතුව තිරසර ආරක්ෂාව පිළිබඳ දැක්ම අනුගමනය කළ යුතු බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. එසේම,  සංවාද හා සහයෝගිතා තහවුරු කරමින් සංකීර්ණ අභියෝගවලටත්, වෙනස් වන ජාත්‍යන්තර රටාවන්ටත් මුහුණ දිය යුතු වේ.

    විද්‍යා හා තාක්ෂණ අංශවලට ඍජුව බලපාන පරිදි ඇමරිකාව චීනයට එල්ල කරන නිරන්තර බාධා හමුවේ සංවර්ධන අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. එහිදී ඉහළ සහභාගිත්වයෙන් යුතුව නවෝත්පාදන සහතික කළ යුතු ය. එසේම, කර්මාන්ත හා සැපයුම් දාමවල විධිමත් යාන්ත්‍රණය සුරකිමින් කලාපීය ආර්ථික ක්‍රියාකාරීත්වය පණගන්වා, පොදු සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගත යුතු බව ද හෙතෙම පැවසීය.

    2024-2025 ශැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය ද චීනය වෙත පවරනු ලැබීය.

    Latest News