අල් ෂිෆා ප්‍රහාරයෙන් 400ක් මියැදෙති

මාර් 31, 2024

    ගාසා තීරයේ අල්ෂිෆා රෝහල ඉලක්ක කර එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට 400 කට අධික පිරිසක් මියගොස් ඇතැයි ගාසාහි මාධ්‍ය කාර්යාලය පවසනවා. 

    එම කාර්ය මණ්ඩල‍ය පෙන්වා දෙන්නේ, රෝහලට සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයට දින 13 ක් පුරා ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල වන බවයි.

    අල්ෂිෆා රෝහලට සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පිරිස අතර, රෝගීන්, අවතැන් පලස්තීන වැසියන් මෙන්ම,  සෞඛ්‍ය ‍කාර්ය මණ්ඩල සාමාජිකයින්ද සිටින බව ගාසාහි මාධ්‍ය කාර්යාලය පවසනවා. 

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, අල්ෂිෆා රෝහල වැටලීමේදී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල හමුදාව වෙත මෝටාර් සහ රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි.   

    මධ්‍යම ගාසා තීරයේ මාගාසි සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන වැසියන් තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබූ බව වාර්තා වනවා. 

    තවත් පලස්තීන වැසියන් පිරිසක් අතුරුදන්.  මේ අතර, ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පවසන්නේ, හමාස් සංවිධානය රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සදහා කඩිනමින් ගිවිසුමකට එළඹෙන ලෙස ඉල්ලා සිටිමින් ඊශ්‍රායලයේ ටෙල්අවිව් නගරයේ, එරට වැසියන් දහස් ගණනක් පෙළපාලි පවත්වමින් සිටින බවයි.

    Latest News