සටන් විරාම නෑ අපි දිගටම ගහනවා

මාර් 26, 2024

    ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ආරම්භ කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය යෝජනාවක් සම්මත කර තිබෙනවා.

    එළඹෙන රාමසාන් උත්සව සමය වෙනුවෙන් මෙම සටන් විරාමය ඇති කර ගත යුතු බවයි, එහි සඳහන් වන්නේ.

    මීට පෙර අවස්ථාවල දී මෙන් අමෙරිකාව ‌මෙහිදී සිය නිෂේධ බලය භාවිත නොකිරීම විශේෂත්වයක්. සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස්  කළ යුතු  බවද, එම යෝජනාවේ ඇතුළත්. යුද්ධය ආරම්භ වීමෙන් පසු ආරක්‍ෂක කවුන්සිලය මෙවැනි යෝජනාවක් සම්මත කර ගත් පළමු අවස්ථාව මෙයයි.

    මීට පෙර මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වුවද,  අමෙරිකාව සිය නිෂේධ බලය යොදා එම යෝජනා බැහැර කළා. විදෙස් මාධ්‍ය පවසන්නේ,  මේ වන විට ගාසා හි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඊශ්‍රායලය අතර මත ගැටුමක් ඇති වී ඇති බවයි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අමෙරිකාව මේ වන විට පෙර ස්ථාවරය අත්හැර දමා ඇති බවයි.

    මෙම යෝජනාවට අමෙරිකාව සිය  නිෂේධ බලය භාවිත නොකිරීම සම්බන්ධයෙන් ඊශ්‍රයාලය සිය කණගාටුව ප්‍රකාශ කරන බවද, එම ප්‍රකාශයේ සඳහන්. ඊශ්‍රායල නියෝජිත පිරිසක් සහ එක්සත් ජනපද නිලධාරීන් අතර වොෂින්ටනයේදී මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම් අවලංගු කිරීමට නෙතන්යාහු  තීරණය කර තිබෙනවා.

    ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ,  ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සිටින නිසා, එහි යුද්ධය නතර නොකරන බවයි.

    Latest News