බඩගින්න නිසා මැරෙන ගාසා කිරිසප්පයින්

මාර් 05, 2024

    උතුරු දිග ගාසා තීරයේ දරුවන් සාගින්නෙන් මිය යන බව, ලෝක සෞඛ්‍ය  සංවිධානය පවසනවා.

    එහි ප්‍රධානී ටෙඩ්‍රස් ගේබ්‍රියෙසස් කියා සිටින්නේ, එහි තත්වය මේ වන විට ඉතා ඛේදනීය  බවයි.

    පසු ගිය දින කිහිපය තුළ පමණක් සාගින්න‍ හේතුවෙන් රෝහල් දෙකක පමණක් ‍දරුවන් 25 දෙනෙකු මිය ගොස් ඇති බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ. එසේම, ගාසා තීරයේ දරුවන් මේ වන විට බරපතල ලෙස මන්දපෝෂණයෙන් පෙළෙන බවයි, ඔහු පවසා තිබෙන්නේ.

    ගාසා තීරයේ දරුවන් මේ වන විට සාගින්න, මන්දපෝෂණය, විජලනය, ආහාර සහ ඖෂධ හිඟය මෙන්ම, ඉන්ධන හිඟය නිසා ඇති වී ඇති අනෙකුත් ප්‍රශ්නවලින්ද පීඩා විදින බවයි, වෛද්‍ය ටෙඩ්‍රස් සඳහන් කරන්නේ.

    උතුරු දිග ගාසා තීරයේ  මේ වන විට පුද්ගලයින් ලක්‍ෂ 3 ක පමණ පිරිසක් ජීවත් වන අතර, ඔවුන්ට ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් හිමි වන්නේ ඉතාම අල්ප වශයෙන් බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරින් සඳහන් කර සිටියේ, ගාසා තීරයේ සාගතයක් ඇති වීම වැළැක්විය නොහැකි බවයි. ගාසා තීරයේ ජනතාවගෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් මේ වන විට ආහාර හිඟය සහ අනෙකුත් ගැටලු හේතුවෙන් බරපතල ලෙස පීඩා විදිමින් සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන‍්නේ.

    Latest News