ඇමෙරිකාව අතර ආර්ථික සහයෝගීතාවයට චීන අගමැතිගෙන් විසඳුම්

පෙබ 29, 2024

    චීන-ඇමරිකානු ආර්ථික සහයෝගිතා දෙරටටම ප්‍රතිලාභ රැගෙන එන බව චීන අගමැති කියයි

    චීන සහ ඇමරිකානු ආර්ථික හා වෙළඳ සහයෝගිතා ශක්තිමත් කිරීම දෙරටටම ප්‍රතිලාභ රැගෙන එන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ ඇමරිකානු වාණිජ මණ්ඩල සභාපතිනි සුසෑන් පී. ක්ලාක් මහත්මිය‍ ප්‍රමුඛ නියෝජිත පිරිස  ඊයේ (28) බෙයිජිං අගනුවර දී හමු වූ අවස්ථාවේ ය.

    චීන-ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් හි 45 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇත. දෙරට නායක දෙපළ එළඹුණු එකඟතා ක්‍රියාවට නංවමින් ඇමරිකාව සමග ස්ථාවර ද්විපාර්ශ්වික සබඳතාවක් ප්‍රවර්ධනය කිරීමට චීනය සූදානම් බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය.

    චීනයේ ආයෝජනය කිරීම සඳහා ඇමරිකානු සමාගම් සාදරයෙන් පිළිගන්නා බව ද ඔහු කියාසිටියේය. දෙරට අතර සන්නිවේදනය සහ අන්‍යෝන්‍ය අවබෝධය දියුණු කිරීම සඳහා ඇමරිකානු වාණිජ මණ්ඩලය සහ ව්‍යවසායකයන් අඛණ්ඩව ක්‍රියා කරනු ඇති බවට අගමැතිවරයා එහිදී අපේක්ෂා පළ කළේය.

    සුසෑන් පී. ක්ලාක් මහත්මිය‍ එහිදී පැවසුවේ අතිශයින් වැදගත් වන චීන-ඇමරිකානු සබඳතාව කිසිසේත් අත් හළ නොහැකි බවයි. දෙරට ආර්ථික හා වෙළඳ සහයෝගිතා පුළුල් කිරීම සඳහා ඇමරිකානු වාණිජ මණ්ඩලය කැපවන බව ද ඇය කියාසිටියාය.

    Latest News