ඉන්දීය අගමැති දිය යට සැඟවෙයි

පෙබ 27, 2024

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ගුජරාට් ප්‍රාන්තය ආසන්නයේ අරාබි මුහුදේදී ක්‍රිෂ්ණ දෙවියන්ට විශේෂ පූජාවක් පැවැත්වීමේ වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

    එම ක්‍රිෂ්ණ කෝවිලේ නටබුන් ඇත්තේ ගුජරාට් ප්‍රාන්තයට බටහිරින් පිහිටි ඔකාමන්දල් අර්ධද්වීපයේ මීට සියවස් ගණනාවකට පෙර මුහුදට යට වූ බව කියන ද්වාරකා පූජා නගරයේ බව විශ්වාසයයි.

    ඉන්දීය අගමැතිවරයා මොනර පිහාටු කලඹක් ද රැගෙන සිය ආරක්ෂක නිලධාරීන් සහ කිමිදුම්කරුවන් සමඟ ඔකාමන්දල් අර්ධද්වීපයේ සිට බෝට්ටුවකින් අරාබි මුහුදට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පසුව ඔහු දිය යට දී හුස්ම ගැනීමට භාවිත කරන යන්ත්‍රයක් පැළඳ ගැඹුරු මුහුදේ කිමිදී ක්‍රිෂ්ණ කෝවිලේ නටබුන් අසළ මේ පූජාව පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    අරාබි මුහුදේ වර්ග අඩි දසලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට විහිදී ඇතැයි කියන ද්වාරකා පූජා නගරය ක්‍රිෂ්ණ දෙවියන්ගේ නගරය බවට හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

    ගුජරාට් ප්‍රාන්තයේ තවත් විවෘත කිරීම් රැසකට සහභාගි වී ඇති අගමැතිවරයා එහිදී ගුජරාට් ප්‍රාන්තයේ බේට් ද්වාරකා පූජනීය දූපත සහ ඔකාමන්දල් අර්ධද්වීපය යා කරන එරට දිගම කේබල් පාලම විවෘත කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

    අමෙරිකානු ඩොලර් මිලියන 120ක් වැය කරමින් ඉදි කළ ‘සුදර්ශන් සේතු‘ නමින් හඳුන්වනු ලබන මේ කේබල් පාලම කිලෝ මීටර් 2.32ක දුරකින් සමන්විත බව විදෙස් මාධ්‍යවල සඳහන්.

    එය 8500ක දූපත්වාසීන්ට සහ මිලියන දෙකක වාර්ෂික බැතිමතුන් පිරිසකට ද්වාරකා පූජා භූමිය වැඳපුදා ගැනීම සඳහා වැඩි අවස්ථාව සලසනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

    Untitled 58

    Latest News