සෙනගාල ජනපති ධූරයෙන් ඉවත් වීමට සූදානම්

පෙබ 24, 2024

    තම ධුර කාලය අවසන් වූ වහාම, ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව සෙනගාලයේ ජනාධිපති මැකී සෝල් පවසනවා.

    ඔහු එරට ජනාධිපතිවරණය කල් දැමීමට ගත් උත්සාහයත්  සමග රට පුරා උද්ඝෝෂණ හට ගැනුණා.

    සෙනගාල ජනාධිපති මැකී සෝල් එම ධූරයේ කටයුතු කරන්නේ,  2012 වසරේ සිටයි.  ඔහුගේ 2 වැනි ධූර කාලය මේ වසරේ අප්‍රේල් වනවිට අවසන් වනවා. එරට මැතිවරණ කොමිසම ජනාධිපතිරණය පෙබරවාරි 25 වැනි දින පැවැත්වීමට තීරණය කළ ද, ජනාධිපති මැකී සෝල් එම දිනය කල් දැමීමට තීරයණය කළා.

    ඒ, මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුවන විමර්ශනයක් පිළිබඳව පෙන්වා දෙමින්.  එහෙත්, ජනාධිපතිවරයාගේ ක්‍රියාවට එරෙහිව විපක්ෂ කණ්ඩායම් සහ සිවිල් වැසියන් විථී බැස උද්ඝෝෂණවල නිරත වෙමින්, ඊට සිය දැඩි විරෝධය පළ කළා.

    ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂකයින් මෙල්ල කිරීමට  ආරක්‍ෂක අංශවලට වෙඩි තැබීමටද සිදුවූ අතර, එහිදී  කිහිප දෙනෙකු මරණයට පත්වුණා.

    විපක්‍ෂ ක්‍රියාකාරිකයින් ජනාධිපති මැකී සෝල්ගේ තීරණයට එරෙහිව,  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී ජනාධිපතිවරණය කල් දැමීම, ව්‍යවස්ථාව උල්ලංඝනයක් බවට,  පෙන්වා දෙමින් ජනාධිපති මැකී සෝල්ගේ ක්‍රියාව බල රහිත කළා.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් සතියකට පමණ පසු  මැකී සෝල් අප්‍රේල් දෙවැනි දින ජනාධිපති ධුරයෙන් ඉවත් වන බවට, ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වුවද,  ජනාධිපතිවරණය  පැවැත්වීම සඳහා එරට මැතිවරණ කොමිසම නව දිනයක්  ප්‍රකාශයට පත් කර නැහැ.

    Latest News